colombotimes.lk
සිංහල | English

19 May 2024

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණයට චීනයෙන් උපරිම සහයක්



ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය උදෙසා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට චීනය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව චීන මුදල් අමාත්‍ය ලියු කුං (Liu Kun) මහතා පවසනවා. 

චීනයේ සිව්දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන මුදල් අමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (19) පෙරවරුවේ බීජිං නුවරදී සිදුවූ අතර එහිදී චීන මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා. 
 
ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අභියෝගය පිළිබඳ මනා අවබෝධයක් චීනයට තිබෙන බව මෙහිදී පැවසූ චීන මුදල් අමාත්‍යවරයා එම අර්බුදයෙන් ගොඩඒම උදෙසා ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ ක්‍රියාමාර්ගවල ප්‍රගතිය ද ඇඟයීමට ලක් කළා. 
 
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ඉදිරියටත් චීනයේ පූර්ණ සහාය ලබාදෙන බවට ද මෙහිදී චීන මුදල් අමාත්‍යවරයා සහතික වුණා.
 
මේ අතර චීනයේ සිව්දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) චීන සන්නිවේදන ඉදිකිරීම් සංස්ථාව, සයිනොපෙක් සමාගම, BYD සමාගම ඇතුළු ප්‍රධාන පෙළේ චීන සමාගම් කිහිපයක නියෝජිතයන් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා. 
 
ශ්‍රී ලංකාවේ අනාගත ආයෝජන අවස්ථා සහ අවකාශයන් පිළිබඳව මෙම සාකච්ඡාවලදී පුර්ණ අවධානය යොමුවී තිබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
(colombotimes.lk)