colombotimes.lk
සිංහල | English

18 October 2024


ජනපතිවරණයට තව දින 16යි



ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා තව ඇත්තේ දින 16ක කාලයක් පමණයි.

මෙවර ජනාධිපතිවරණයේ ජනාධිපති ධූරය වෙනුවෙන් අපේක්ෂකයන් 38දෙනෙක් තරග කිරීමට තම නාම යෝජනා පත්‍ර ලබා දී අවසන්.

ඔවුන්ගේ දේශපාලන ප්‍රචාරක වැඩසටහන් මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක රැසක් ආවරණය කරමින් ක්‍රියාත්ම වෙමින් පවතිනවා.

මෙවර ජනාධිපතිවරණයේ ජනාධිපති ධූරය වෙනුවෙන් තරග වඳින රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ ඔවුන්ගේ දේශපාලන රැළිවලදී පළ කළ අදහස් කිහිපයක් පහතින්,

මෙරට කෘෂි කර්මාන්තය නව මඟකට යොමු කරන බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ඊයේ (04) යාපහුව ප්‍රදේශයේ පැවති ජන රැලියට එක්වෙමින් සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ වරකාපොළ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ප්‍රකාශ කළේ රටේ උද්ධමනයට අනුපාතිකව රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට සිය රජයක් යටතේ කටයුතු කරන බවයි.

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමට සාපේක්ෂව අවම වශයෙන් 70% විශ්‍රාම වැටුප් ගැලපීමක් සමස්ත විශ්‍රාමිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඊයේ (04) කොළඹ පැවතී රාජ්‍ය සේවා විශ්‍රාමික සමුළුව අමතමින් සඳහන් කළා.

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක කියා සිටියේ වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයකට ඉදිරි මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කිරිමේ අවස්ථාව අහිමි වන බවයි.
 
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) ජා ඇළ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින්.

(colombotimes.lk)