මහ මැතිවරණයේ ඡන්ද ප්රකාශ කිරීමට රාජ්ය හා පෞද්ගලික ආයතනික සේවකයන් සඳහා ප්රමාණවත් නිවාඩු ලබාදීම නිසි පරිදි සිදු නොවන බවට පැමිණිලි රැසක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා සඳහන් කළේ 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 122 වැනි වගන්තියට අනුව ඡන්දය ප්රකාශ කිරීමට සේවායෝජකයන් විසින් සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීමට කටයුතු කළ යුතු බවයි.
වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවන ආකාරයට සේවා යෝජකයන් විසින් නිවාඩු ලබාදීම සිදු කළ යුතු බව පසුගිය 2 වනදා නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.
ඡන්දය සඳහා නිවාඩු ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලා සිටින සෑම සේවා නියුක්තිකයෙක්ටම නිවාඩු දිය යුතු බව එම නිවේදනයේ සඳහන්.
එලෙස ලබාදෙන නිවාඩු කාල සීමාව, අනියම් සේවකයන්ද ඇතුළුව සියලු සේවකයන් සඳහා වැටුප් සහිත විශේෂ නිවාඩු දිනයක් ලෙස සැලකිය යුතු බව උපදෙස් මාලාවේ සඳහන් වනවා.
සියලු සේවා යෝජකයන් විශේෂ නිවාඩු ඉල්ලුම් කළ පුද්ගලයන් සහ නිවාඩු ප්රදානය කරන කාලසීමාව දැක්වෙන ලේඛනයක් සේවා ස්ථානයේ ප්රදර්ශනය කළ යුතු බව මැතිවරණ කොමිසම දැනුම්දී තිබෙනවා.
(colombotimes.lk)