22 November 2024


ප්‍රධාන මාර්ගයක් දශක තුනකට පසු විවෘත කරයි



පලාලි - අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු අද (01) විවෘත කර තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි බවයි වාර්තා වන්නේ.

ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ 30 වසරක සිවිල් යුද්ධයේදී මෙම මාර්ගය වසා දැමූ අතර ගැටුම අවසන් වීමෙන් පසු තවත් වසර 15ක් දක්වා ප්‍රවේශ විය නොහැකි ලෙස පැවති බවයි.

මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජනතාව විසින් නිරන්තරයෙන් ඉල්ලීම් සිදු කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ආණ්ඩුකාරවරුන් අතර පසුගිය ඔක්තෝබර් 22 වනදා පැවති සාකච්ඡාවේදී උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් ද ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳ ඉල්ලීමක් සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බලා අදාළ කටයුතු සිදු කරන ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක ආරක්ෂක අංශවලට දැනුම් දී තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ හා ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් මෙම මාර්ගය විවෘත කිරිමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)