02 September 2025

logo

නැවතත් වර්ජනයක් ඇරඹෙයි



රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සහ අනෙකුත් කාර්යමණ්ඩලය අද (02) සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ රෝහල් අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින්.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවට සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර එකඟතාව පළකර තිබුණ ද එම එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

එමනිසා අද (02) උදෑසන 08.00 සිට හෙට උදෑසන (03) 08.00 දක්වා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රත්නපුර ශික්ෂණ රෝහලේ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ රෝහල තුළ හදිසි සහ ජීවිතාරක්ෂක ප්‍රතිකාර සේවා එලෙසම පවත්වාගෙන යන අතර දෛනික ප්‍රතිකාර සේවාවවන් සියල්ල අඩාල වන බවයි.
 
මේ අතර සිය ගැටලු විසඳීම සඳහා බලධාරීන් පියවර නොගතහොත් ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. 

එහි ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කළේ සිය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලීමක් කරන බවයි. 

(colombotimes.lk)