01 July 2025

logo

නවක මන්ත්‍රීවරුන්ට අද සිට දින 03ක වැඩමුළුවක්



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අද (25) සිට තුන්දින වැඩමුළුවක් පැවැත්වෙනවා.

පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර සඳහන් කළේ උදෑසන 9.30 සිට පස්වරු 4.30 දක්වා එය පැවැත්වීමට නියමිත බවයි.

මෙම වැඩමුළුවේ සමාරම්භය සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක ආචාර්ය අශෝක රන්වල, නියෝජ්‍ය කථානායක වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, සභානායක අමාත්‍ය බිමල් රත්නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, නියෝජ්‍ය මහලේකම්, සහකාර මහලේකම් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතව තිබෙනවා.

වැඩමුළුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භූමිකාවේ කාර්යභාරය, පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදිත ක්‍රියාවලිය, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාවලිය, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන පිළිබඳව මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සිදු වනවා.

මන්ත්‍රීවරුන්ට ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමය භාවිතයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන ප්‍රායෝගික සැසියක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවයි වාර්තා වන්නේ.

දූෂණ විරෝධී පනත මඟින් ස්ථාපිත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අදාළ නීති හා ක්‍රියාවලින් පිළිබඳව මෙන්ම මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ කාර්යභාරය පිළිබඳව මෙහිදී දැනුවත් කිරීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)