22 November 2024


අඩු ආදායම්ලාභීන්ට චීන ආධාර යටතේ නිවාස 1996ක්



අඩු අදායම්ලාභීන් සඳහා නිවාස ඒකක 1,996ක් ප්‍රදානයක් ලෙස ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.

ඒ අද (06) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.

එහිදී ඔහු කියා සිටියේ එම නිවාස 1,996 අදියර 03ක් යටතේ ස්ථාන තුනකදී ක්‍රියාත්ම කරන බවයි.

අඩු ආදායම්ලාභී පුද්ගලයන් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996ක් ඉදිකිරීම, පැකේජ 03ක් යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බව රජය පවසනවා.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා චීන රජය විසින් නම් කර ඇති ලංසුකරුවන් 08 දෙනෙක් වෙතින් ලංසු කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.

එම ලංසු ඇගයීමෙන් පසුව තාක්ෂණික ඇගයීම් කමිටුව සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව පහත සඳහන් කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

පැකේජ 01 - මොරටුවේ නිවාස ඒකක 575ක් සහ කොට්ටාවේ නිවාස ඒකක 108ක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව M/s China Railway 25th Bureau Group Co. Ltd වෙත ප්‍රදානය කිරීම.

පැකේජ 02 - දෙමටගොඩ නිවාස ඒකක 586ක් සහ මහරගම නිවාස ඒකක 112ක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව M/s China Harbor Engineering Company Ltd වෙත ප්‍රදානය කිරීම.

පැකේජ 03 - පෑලියගොඩ නිවාස ඒකක 615ක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව M/s Shanxi Construction Investment Group Co. Ltd. වෙත ප්‍රදානය කිරීම.

(colombotimes.lk)