28 March 2025


දේශබන්දුට නිවසින් කෑම ගෙනඒමට අවසර



බන්ධනාගාර ගතව සිටින සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ආහාර නිවසෙන් ගෙනඒම සඳහා අවසර ලබාදී තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක සඳහන් කළේ ඊයේ (24) සිට අදාළ අවසරය ලබාදී ඇති බවයි.

වැලිගම ප්‍රදේශයේ හෝටලක් අසල සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් එම නියෝගයෙන් දින 20කට පසුව අධිකරණයට බාරවී තිබෙනවා.

එහිදී මාතර මහේස්ත්‍රාත්වරයා විසින් අප්‍රේල් 3වනදා වන තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහුව මහනුවර දුම්බර බන්ධනාගාරයට ඇතුළත් කළ අතර එහිදී තමාගේ ආහාරවේල නිවසින් ගෙන ඒමට අවසර ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අදාළ ඉල්ලීම සලකා බලා ඔහුට නිවසෙන් ආහාර ගෙන ඒමට අවසර ලබාදී ඇති බවයි.

ඒ අනුව වේල් 03 සඳහාම ඔහුට නිවසින් ආහාර ගෙනඒමට අවසර ලබා දී තිබෙනවා.
 
(colombotimes.lk)