07 June 2026

logo

ප්‍රාදේශීය ලේකම්වරු සඳුදා රැස්වීම් වර්ජනය කරයි



ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනය පවත්වනු ලබන සඳුදා දිනයන්වල පැවැත්වෙන කිසිඳු රැස්වීමකට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසනවා.

ඒ මහජන දිනය ලෙස වෙන් කර ඇති සඳුදා දිනවල විවිධ අමාත්‍යාංශ,රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරිය විසින් භෞතිකව හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ රැස්වීම් පැවැත්වීම හේතුවෙන් ඉන් කාර්යාලීය කටයුතුවලට සහ මහජනතාවට සිදුවන අපහසුතාවයන් සැලකිල්ට ගනිමින්.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 27/2023 අනුව මහජන දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇති දිනයේ තමන් හමුවීමට පැමිණෙන මහජනතාවගේ ගැටළු විසදීමට කාර්යාලයේ රැඳී සිටීම අනිවාර්ය කර ඇති අතර එම නිසා කිසිඳු රැස්වීමක් නොපැවැත්විය යුතු බවට උපදෙස් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය සඳහන් කළේ මෙම කරුණු සැලකිල්ලට ගනිමින් හෙට (08) දිනයේ සිට මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි.

(colombotimes.lk)