06 January 2025


ලංකාවේ තිරුපති කෝවිලක් ඉදි කිරීමට ඉල්ලීමක්



නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා විසින් ශ්‍රී ලංකාවේ තිරුපති කෝවිලක් ඉදිකරන ලෙස ඉල්ලා තිබෙනවා. 

ඒ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය වයි එස් ජගන් මෝහන් රෙඩ්ඩි හමුවූ අවස්ථාවේදීයි. 
 
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් (AP) හි තිරුපති කෝවිලට පැමිණීමට කැමති නමුත් එම ගමන යාමට නොහැකි බැතිමතුන් විශාල සංඛ්‍යාවක් සැලකිල්ලට ගනිමින් ආණ්ඩුකාරවරයා මෙම ඉල්ලීම කර තිබෙනවා. 
 
වයෝවෘද්ධභාවය හේතුවෙන් වන්දනාමාන කිරීමට අපේක්ෂා කරන සැදැහැවතුන් සැලකිය යුතු පිරිසකට වන්දනාමාන කිරීමට නොහැකි වී ඇති බවයි ආණ්ඩුකාරවරයා සඳහන් කළේ. 
 
ප්‍රධාන අමාත්‍ය රෙඩ්ඩි එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දැක්වූ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසනවා. 
 
මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින ආණ්ඩුකාර තොණ්ඩමන් මහතා ආන්ද්‍රා ප්‍රදේශ් වාණිජ මණ්ඩලයේ නිලධාරීන් ද හමුවී ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කර තිබුණා. 
 
කෘෂිකාර්මික සහ ඇඟලුම් ක්ෂේත්‍ර වැනි ක්ෂේත්‍රවල නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව ද ආණ්ඩුකාරවරයා සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ. 
 
මෙම සාකච්ඡාවේදී ත්‍රිකුණාමල වරායේ කර්මාන්තපුරයක් පිහිටුවීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා. 
 
ශ්‍රී ලංකාව තුළ උක් හා මිරිස් වගාවන් පිහිටුවීමට මෙන්ම ඖෂධ නිෂ්පාදන සමාගමක් පිහිටුවීමේ හැකියාව පිළිබඳව ද විශේෂ අවධානය යොමු ව තිබුණා.
(colombotimes.lk)