09 April 2025


කළුතරට හදිසි ගං වතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්



ඉදිරි පැය කිපයේදී කළුතර දිස්ත්‍රික්කයට හදිසි ගංවතුර තත්වයක් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ ඒකකය නිවේදනය කරනවා. 

ඒ කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟයි. 
 
කුකුළේ ගඟ බලාගාරයේ වාන් දොරටු දෙකක් අද (02) පෙරවරු 9.30 වනවිට විවෘත කර තිබෙනවා. 
 
ඉන් තත්පරයට ඝන මිටර් 150ක ජල ධාරිතාවක් කුඩා ගඟට මුදාහැරෙන බැවින් ගඟ පහළ පදිංචි කරුවන් විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ කර්නල් අරවින්ද අමරසේකර මහතා පැවසුවේ. 
 
අද උදෑසන සිට මගුරු ගඟ පිටාර ගැලිමෙන් පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම්කො ට්ඨාසයේ හැඩිගල්ල - බදුරලිය මාර්ගයේ ගඟ ළඟ කොටස ජලයෙන් යටව ගමනාගමනයට බාධා පැමිණ තිබුණා. 
 
කලවාන - බදුරලිය මාර්ගයේ මිදලන සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පී.එස්.හංදිය, අගලවත්ත කුඩලිගම මාර්ගයේ දුල් ඇල්ල ප්‍රදේශය, වලල්ලාවිට - අවිත්තාව මාර්ගයේ තොටහ, යන ප්‍රදේශ ජලයෙන් යටව ගමනාගමන කටයුතු වලට බාධා පැමිණ තිබෙන බව ද කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළා. 
 
මාර්ග ජලයෙන් යටව ඇති ප්‍රදේශවල සාමන්‍ය පෙළ විභාගයට පෙනිසිටින දරුවන්ට සහ විභාග කාර්ය මණ්ඩල සඳහා විශේෂ ප්‍රවාහන පහසුකම් ලබා දී තිබෙන බව ද සහකාර අධ්‍යක්ෂ කර්නල් අරවින්ද අමරසේකර මහතා පැවසුවා. 
 
කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ,බුලත්සිංහල අගලවත්ත, මතුගම සහ වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත්ව සිටිමේ අදියර එක යටතේ නාය යාමේ අවදානම් නිවේදන නිකුත්කර තිබෙන බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ.
(colombotimes.lk)