හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස් කරමින් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය දුන් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) බලරහිත කර තිබෙනවා.
ඒ බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් රාජකාරී වගකීම් පැහැර හැරීම හා අපරාධ චෝදනා යටතේ ගැනෙන වරදවල් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා පවරා තිබූ නඩුව සම්බන්ධයෙන් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නිකුත් කළ නියෝගයට අදාළවයි.
2022 පෙබරවාරි මස 18 වනදා ආදිත්‍ය පටබැඳිගේ, නාමල් බණ්ඩාර බලල්ලේ, මොහොමඩ් ඉර්සදීන් යන මහාධිකරණ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල මෙම නියෝගය ලබා දුන්නේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව වෙන් වෙන්ව පවරා තිබූ නඩු දෙකක් විභාග කරමින්.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පැමිණිල්ලේ සාක්ෂි විභාගයෙන් අනතුරුව විත්තිකරුවන් නිදහස් කරමින් ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් පසුව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබුණා.
එම පෙත්සම සලකා බැලීම සිදු කළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.
නඩුව නැවත විභාගයට ගැනීම ආරම්භ කරමින් විත්ති වාචික කැඳවන ලෙස විනිසුරු මඩුල්ල මහාධිකරණයට නියෝග කර තිබෙනවා.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ එම නඩු විභාගයේදී මහාධිකරණය විසින් විත්ති වාචිකය කැඳවිය යුතු බවයි.
විත්ති වාචික කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කිරීම නීතියට පටහැනි නියෝගයක් බව නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නා.
(colombotimes.lk)