17 August 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. පොලිස්පතිගේ නව WhatsApp අංකයට පැමිණිලි රැසක්

ජනතාවට මුහුණ පෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලු ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් හඳුන්වා දුන් නව WhatsApp අංකයට මේ වන විට පැමිණිලි 2000කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මෙම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.

071 859 88 88 යන WhatsApp අංකය පසුගිය 13වනදා පොලිස්පතිවරයා වෙත සෘජුවම කෙටි පණිවුඩ, වීඩියෝ දර්ශන සහ ඡායාරූප යොමු කිරීම සඳහා හඳුන්වාදීම සිදු කළා. 



02. තැපැල් සේවකයන් පිරිසක් අතිකාල වර්ජනයක

අංශ කිහිපයක තැපැල් සේවකයන් අතිකාල සේවාවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

 
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ සේවකයන්ගේ අතිකාල සහ වරප්‍රසාද කප්පාදුවට එරෙහිව මෙම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව තැපැල් ප්‍රවාහන අංශය, නාරාහේන්පිට තැපැල් කාර්මික අංශය සහ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් එලෙස අතිකාල සේවාවලින් ඉවත්ව සිටින බවද ඔහු සඳහන් කළා. 



03. ට්‍රම්ප් - පුටින් අතර සාකච්ඡාවට සිදු වූ දේ


ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) පවත්වා තිබෙනවා.

ඒ ඇමරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ ඇන්කරේජ් හී එක්සත් ජනපද හමුදා කඳවුරකදීයි.

ඔවුන් වසර 06කට පසු මෙලෙස හමුවූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔවුන් පැය 03කට ආසන්න කාලයක් එම සාකච්ඡාවේ නිරත වූ බවයි.

එම සාකච්ඡාවලින් අනතුරුව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.

එහිදී ඇමරිකානු ජනාධිපති සඳහන් කළේ එම සාකච්ඡාවලදී කිසිඳු ගිවිසුමකට අත්සන් නොකළ බවයි.

එහෙත් සාකච්ඡා ඵලදායී බවත් එමඟින් සාකච්ඡාවල ප්‍රගතියක් අත්කරගත් බවද ඇමරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.

රුසියාව සහ යුක්‍රේනය අතර සටන්විරාමයක් ඇති කරගැනීම අරමුණ කරගනිමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර්  පුටින් අතර පැවැත්වූ තීරණාත්මක සාකච්ඡාව ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්වී තිබෙන බවයි වාර්තා වන්නේ.



04. තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පී.සත්කුමාර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හෙට (17) සිට නැවත දැනුම්දෙන තුරු එම නිවාඩු අවලංගු කර තිබෙන බවයි. 



05. ඉන්දුනීසියාවේ පාසල් සිසුන් 350කට අධික පිරිසක් රෝහල් ගත කරයි

ආහාර විෂ වීමකින් ඉන්දුනිසියාවේ පාසල් සිසුන් 365දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නොමිලේ ලබාදුන් දිවා ආහාරය ගැනීමෙන් පසු මෙම පාසල් සිසුන් පිරිස රෝගී වී ඇති බවයි.

ඉන්දුනීසියා රජය එරට පාසල් සිසුන්ට දිවා ආහාර ලබාදීමේ වැඩසටහනට ඩොලර් බිලියන 28ක මුදලක් වැය කර තිබෙනවා. 

එරට නිරන්තරයෙන් සිදුවන ආහාර විෂවීමේ සිද්ධීන් හේතුවෙන් මෙම වැඩසටහන තාවකාලිකව අත්හිටුවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

පාසල් දරුවන් මිලියන 80කට නොමිලේ ආහාර ලබාදීමේ වැඩසටහන වත්මන් ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්ටෝගේ මැතිවරණ පොරොන්දුවක් ද වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.




06. රොබෝ ඔලිම්පික් උළෙල ඇරඹෙයි

ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේ බීජිංහීදී ඊයේ (15) ආරම්භ කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම තරගාවලියට චීනය, ඇමරිකාව, ජර්මනිය, බ්‍රසීලය සහ ජපානය ඇතුළු රටවල් 16ක කෘතිම බුද්ධි තාක්ෂණ සහ රොබෝ තාක්ෂණවේදීන් 280ක් සිය රොබෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සඳහා ඉදිරිපත් කර ඇති බවයි. 

තෙදිනක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියේදී රොබෝ තරගකරුවන් මලල ක්‍රීඩා, පාපන්දු, බොක්සිං, සටන් කලා ඇතුළු ඉසව් කිහිපයක් යටතේ තරග වැදීමට නියමිතව තිබෙනවා. 



07. මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබෙනවා. 

මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන අංක 8056A ගාලු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය මෙලෙස පීලි පැනීමකට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ. 

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කිරීමට කටයුතු කර තිබෙනවා. 

දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද විශාල වශයෙන් හානි සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ. 



08. ට්‍රම්ප් - සෙලෙන්ස්කි හමුවට දින නියම වෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව හමුවන දවස යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබෙනවා. 

ඒ අනුව ඔහු ලබන සඳුදා වොෂින්ටනයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ව හමුවන බවයි වාර්තා වන්නේ. 

ට්‍රම්ප් සමඟ පැවති දුරකථන සංවාදයෙන් පසු යුක්‍රේන ජනපති මේ බව ප්‍රකාශයට පත්කර තිබෙනවා.
 
එකඟතාවකින් තොරව අවසන් වූ ට්‍රම්ප් - පුටින් සාකච්ඡාවෙන් දින 03කට පසු මෙම හමුව සූදානම් කිරීම විශේෂත්වයක්.


(colombotimes.lk)