01. හිටපු අමාත්‍යවරයෙක් අභාවප්‍රාප්ත වෙයි
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
02. අස්වැසුම ප්‍රතිලාභීන්ට සුබ ආරංචියක්
අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව අද (15) එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැරකරන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.එම අමාත්‍යාංශය සඳහන් කළේ එහිදී මෙලෙස රුපියල් 11,275,973,750.00ක මුදලක් ප්‍රතිලාභී 1,421,745 අතරේ බෙදා දීමට නියමිතයි.ඒ අනුව අදාළ ප්‍රතිලාභීන්ට අගෝස්තු 15වනදා සිට එම මුදල් ලබා ගැනීමට හැකියාව පවතිනවා.
03. සයිබර් ආරක්ෂණ පනත් සකස් කිරීමට කමිටුවක්ජනාධිපතිවරයාගේ උපදෙස් මත සයිබර් ආරක්ෂණ පනත් සඳහා නිර්දේශ ලබාදීමට කමිටුවක් පත්කර තිබෙනවා. එම කමිටුව නීතිපති දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති ආයතන 02කට අදාළ පනත් පිළිබඳ එම කමිටුව විසින් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කරන බව ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කළා. ජාතික ආරක්ෂාවට බලපාන සයිබර් ආරක්ෂණය සම්බන්ධ පනත් කෙටුම්පතක් සහ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සයිබර් ආරක්ෂණය සම්බන්ධ පනත් කෙටුම්පතක් පිළියෙළ කිරීම මෙම කමිටු නිර්දේශ මත පදනම්ව සිදු වන බවයි වාර්තා වන්නේ. එම පනත් 02ට අදාළ බලතල ක්‍රියාත්මක කිරීමට සහ නියාමනයට ආයතන 02ක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙරට සයිබර් ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ එම පනත් කඩිනමින් සම්මත කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
04. විමල් වීරවංශ CIDයෙන් පිටව යයි
පැය 3කට අධික කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළු වීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා සිදු කළ ප්‍රකාශයක් පිළිබඳ වැඩිදුර ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙලෙස කැඳවා ඇති බවයි.
ඒ අනුව පෙරවරු 10.30ට පමණ හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත පැමිණ තිබෙනවා.
05. චිත්‍රපට සහ රූපවාහිනි හඬකැවීම්වලටත් AI
ඇමරිකාව සහ යුරෝපයේ හඬකැවීම් සහිත චිත්‍රපට සඳහා AI තාක්ෂණය භාවිත කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම AI හඬකැවීම් පද්ධතිය මඟින් එරට පවතින භාෂාමය ගැටලු ඉවත් කර ගැනීමට පහසු වන බවයි.
ඒ අනුව ඇමරිකානු වෙළෙඳපොළට ආකර්ෂණය කරගත හැකි ජාත්‍යන්තර චිත්‍රපට සොයා ඒවා හඬ කැවීම XYZ චිත්‍රපට සමාගමේ වැදගත් කාර්ය භාරයක් වන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
06. නව පොලිස්පති ජනපති හමුවෙයි
නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය අද (15) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
ජනාධිපතිවරයා නව පොලිස්පතිවරයාට සිය සුබ පැතුම් පිරිනැමූ අතර පොලිස්පතිවරයා ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
07. ඇල්ල - වැල්ලවාය මාර්ගයේ බිහිසුණු අනතුරක් - 06ක් රෝහලට
ත්‍රීරෝද රථයක් සහ සුඛෝපභෝගී කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ ඇල්ල, වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා දිය ඇල්ලට ඉහළ ප්‍රදේශයේදීයි.
එම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් 06දෙනෙක් තුවාල ලබා දෙමෝදර සහ බණ්ඩාරවෙල යන රෝහල්වලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙසේ අනතුරට ලක් වී ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන අතර අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කිරීමට නියමිතයි.
(colombotimes.lk)