18 August 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. අපරාධ නැවැත්වීමට පොලීසියෙන් විධිමත් වැඩපිළිවෙළක්

පාතාල ක්‍රියා මර්දනය කිරීම් සඳහා පවතින ක්‍රමවේදයට වඩා විදිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ප්‍රකාශ කළා. 

ඒ අද (17) මහනුවරට පැමිණ මහනායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

මෙම අපරාධ මැඩලීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ මහජනතාවගෙන්ද සහාය ලබා ගනිමින් කටයුතු කරන බව පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇතැම් පාතාල ක්‍රියාවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යම් යම් දේශපාලන ආශිර්වාද මෙන්ම පොලීසියේ ඇතැම් නිලධාරීන්ගේද සහාය ලැබී ඇති බවයි. 



02. තැපැල් සේවකයන් අද පස්වරුවේ වර්ජනය අරඹයි 

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් අද (17) පස්වරු 4.00 සිට සේවයෙන් ඉවත් වී වර්ජන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. 

ඒ තැපැල් නිලධාරීන්ගේ අතිකාල ගෙවීම්, පාලන කාර්යාල හා ගිණුම් කාර්යාලවල නිලධාරීන් ඇඟිලි සළකුණු යන්ත්‍රයේ පැමිණීමේ හා පිටවීම සටහන් කළ යුතු බවට ලබාදී ඇති උපදෙස්වලට විරෝධය පළ කිරීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 19ක් ඉදිරිපත් කරමින්.

ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සඳහන් කළේ හෙට පස්වරු 4.00ට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් මෙම වර්ජය ආරම්භ කිරීමට නියමිතව ඇති අතර මධ්‍යම රාත්‍රී 12.00 සිට දිවයින පුරා පිහිටි තැපැල් හා පාලන කාර්යාලවල අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා තැපැල් කාර්යාලයට අයත් උප තැපැල් කාර්යාල 3,354ක උප තැපැල් ස්ථානාධිපතිවරු සහභාගී නොවන බව  තැපැල්පති රුවන් සත්කුමාර ප්‍රකාශ කළා. 

ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් සිදු කරන  වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් තැපැල් භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු ප්‍රමාද විය හැකි බවයි.




03. ශ්‍රී ලාංකිකයෙක් මැලේසියාවේදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෙක් මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට බුකිත් තැම්බන් ප්‍රදේශයේදී මලයාසියානු ජාතිකයන් දෙදෙනෙක් සමඟ මෙම ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

අදාළ ස්ථානයේ තිබී හෙරෝයින් ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන ඇති බව මලයාසියානු මාධ්‍ය වාර්තා කළා.
 
සැකකාර ශ්‍රී ලාංකිකයා සහ මලයාසියානු ජාතිකයන් දෙදෙනා සතුව තිබී සුඛෝපභෝගී මෝටර් රථ 04ක් ද පොලිස් භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
 
සැකකරු තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව මලයාසියානු මාධ්‍ය වාර්තා කළා. 



04. තෙත වී මිලදී ගැනීම අත්හිටුවයි  

තෙත වී මිලදී ගැනීම අත්හිටුවා තිබෙනවා. 
 
වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ මෙවර යළ කන්නයේ වී මෙට්‍රික් ටොන් 20,000කට වැඩි ප්‍රමාණයක් මේ වන විට මීලදී ගෙන ඇති බවයි.
 
මේ අතර පොළොන්නරුව හා අනුරාධපුර ප්‍රදේශවල මේ වන විට වී අස්වනු නෙලීම ආරම්භ කර තිබෙනවා.
 
සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ විවෘත කළ හැකි සියලු ගබඩා විවෘත කර වී මිලදී ගැනීමට කටයුතු කරන බවයි. 


05. රේගු ඉතිහාසය වෙනස් කරමින් වැඩිම ආදායම උපයයි

රේගු ඉතිහාසයේ මසක් තුළ ලැබූ ඉහළම ආදායම පසුගිය මාසයේදී සටහන් කර ගැනීමට සමත් වූ බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් නෝනිස් ප්‍රකාශ කළා. 

ඒ ඊයේ (15) පැවති ශ්‍රී ලංකා රේගුව විසින් ආනයන හා අපනයනකරුවන්ගේ පහසුව සඳහා නිර්මාණය කරන ලද රේගු සටහන්කර දැනුම්දීමේ පද්ධතිය ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී අදහස් දක්වමින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ පසුගිය මාසයේදී රේගු ආදායම රුපියල් බිලියන 235ක් ලෙස සටහන් වූ බවයි. 



06. මලල ක්‍රීඩා සංගමයේ නිලවරණය ගැන දැනුම්දීමක් 

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණය කල් දමා තිබෙනවා. 

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ මෙවර නිලවරණයේ අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති අභියාචනය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

මලල ක්‍රීඩා සංගමයේ වත්මන් ලේකම්වරයාට, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ පිළිබඳව ලිපියක් මඟින් දැනුම්දී තිබෙනවා. 

එම ලිපියේ සඳහන් වන්නේ 2025 ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිල වරණය පැවැත්වෙන දිනය පසුව දැනුම්දෙන බවයි. 

2025 ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ මහා සභා රැස්වීම සහ නිලවරණය හෙට (18) කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබුණා. 



07. පුටින්ට ලියූ ලිපිය මෙලනියා ප්‍රසිද්ධ කරයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත දුන් ලිපිය ඇය විසින් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුටින්ගේ ඇලස්කා සංචාරයේදී ඔහුගේ අතට මෙම ලිපිය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් භාරදී තිබෙන බවයි. 

ඇය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇලස්කා සංචාරයට සහභාගී නොවීම නිසා මෙම ලිපිය ලබාදී තිබෙනවා.  

මෙම ලිපියෙහි යුද ගැටුම්වලට මැදිවූ යුක්රේනයේ දරුවන් පිළිබඳව සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.  

යුක්රේනය යන වචනය සඳහන් නොකර ඒ පිළිබඳ ඉල්ලීම කිරීමට ඇය කටයුතු කර තිබෙනවා.





(colombotimes.lk)