01. ආසන පටි පැළඳීම අද සිට අනිවාර්ය වෙයි
අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලු වාහනවල මගීන්ට අද (01) සිට ආසන පටි පැළදීම අනිවාර්ය කර තිබෙනවා.
මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න සඳහන් කළේ අදාළ තීරණයට පටහැනිව කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි.
කෙසේවෙතත් ආසන පටි නොමැති ඇතැම් වාහන සඳහා ආසන පටි සවිකර ගැනීමට මාස 03ක සහන කාලයක් ලබාදෙන බවද මංජුල කුලරත්න වැඩිදුරටත් සඳහන් කළා.
02. සමන් ඒකනායකට අද CIDයට එන්න එපා කියයි
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු නොමැති බව එම දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය සඳහන් කළේ ඔහුට අද දිනයේ පෙනී නොසිටින ලෙසට දැනුම් දුන් බවය.
හිටපු ජනාධිපතිවරයා එංගලන්තයේ සිදු කළ සංචාරයට අදාළව සිදු කරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට අද පෙරවරු 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට මීට පෙර දැනුම්දී තිබෙනවා.
සිද්ධියට අදාළව මීට පෙර ද සමන් ඒකනායකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
03. ඇෆ්ගනිස්ථාන භූ කම්පනයෙන් දිවි අහිමි වූ පිරිස ඉහළට
ඇෆ්ගනිස්ථානයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයන් 600කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ 6.0ක ප්‍රබලත්වයෙන් කිලෝමීටර් 8ක ගැඹුරකින් මෙම භූ කම්පනය හටගත් බවයි.
මෙම භූ කම්පනයෙන් කාබුල් සිට පාකිස්ථාන අගනුවර වන ඉස්ලාමාබාද් දක්වා ගොඩනැගිලි රැසක් සෙලවී තිබෙනවා.
එමෙන්ම පළමු භූ කම්පන තත්ත්වය සිදුවී පසු කම්පන තත්ත්ව 03ක් සිදුවී ඇති අතර ඒවා පිළිවෙළින් රික්ටර් මාපක 4.5 සහ 5.2 දක්වා පරාසයක හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
04. ලාෆ්ස් ගෑස් මිල ගැනත් දැනුම්දෙයි
සැප්තැම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බව එහි අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසනවා.
ඔහු කියා සිටියේ කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක් ලෙසත් කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645ක් වන ලෙසත් අලෙවි කරන බවයි.
05. විමල් වීරවංශ ඇතුළු 06කට එරෙහි නඩුවකට දිනදෙයි
හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් 06දෙනෙක්ට එරෙහිව ගොනු කර ඇති නඩුවක් වැඩිදුර විභාගය සඳහා නොවැම්බර් 10වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අදාළ පැමිණිල්ල අද (01) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
ඉන් අනතුරුව මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 10වනදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ 2016 පෙබරවාරි 06වනදා කොළඹ තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී, එහි මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීමට විරෝධය පළ කර මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතවීම තුළින් මහජන පීඩාවක් වන ආකාරයෙන් ක්‍රියා කිරීම සම්බන්ධයෙන්.
06. කච්චතිව් ගැන ජනපති යාපනේදී කියූ දේ
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (01) යාපනයේ සංචාරයක නිරත වී තිබෙනවා.
ඒ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගීවීම සඳහායි.
එහිදී ජනාධිපතිවරයා කච්චතිව් දූපත ජනතාව වෙනුවෙන් ආරක්ෂා කිරීමේ වගකීම ඉටු කරන බව ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම කිසිදු බලපෑමකට යටත් නොවන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
07. රනිල් ආණ්ඩුවට එරෙහි තවත් නඩුවක් විභාගයට අවසර
ඉකුත් රජය සමයේ එප්පාවල පොස්පේට් නිධියෙන් ලබා ගන්නා පොස්පේට් තොග සම්මත මිල ගණන්වලට වඩා අඩු මිල ගණන්වලට තමන්ට හිතවත් සමාගම් කිහිපයකට අපනයනය කිරීම සඳහා නිකුත් කිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු වගඋත්තරකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) අවසර ලබාදී තිබෙනවා.
මෙම පෙත්සම පරිසරය යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, නීතිපතිවරයා ඇතුළු තිස් දෙදෙනෙක් නම් කර තිබෙනවා.
මෙම පෙත්සම අද (01) ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බලා තිබෙන බවයි වාර්තා වන්නේ.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2000 වසරේදී තිබෙන නියෝගයකට පටහැනි ලෙස ලංකා පොස්පේට් සමාගම විසින් පොස්පේට් තොග ලබාගැනීම සිදු කරන බව සඳහන් කළා.