11 September 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම හමුදාවට

නේපාලයේ පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා ඊයේ (09) රාත්‍රී 10.00 සිට එරට හමුදාව මැදිහත්වන බව නිවේදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින තත්ත්වය පාලනය කර ගැනීම සඳහා හමුදාවට සහයෝගය ලබාදෙන ලෙස එරට වැසියන්ගෙන්ද ඉල්ලීමක් කර ඇති බවයි.  

වත්මන් අර්බුදයෙන් වාසි ලබා ගනිමින් විරෝධතාකරුවන් පොදු සහ පෞද්ගලික දේපළවලට හානි කිරීම, කොල්ලකෑම සහ ගිනි තැබීම සිදු කරන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා. 



02. හිටපු නාවික හමුදාපති යළි රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති (විශ්‍රාමික) අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 

ඒ එළඹෙන 24වනදා දක්වායි. 

පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.  



03. සමන් ලාල් රිමාන්ඩ්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ සැප්තැම්බර් 23වනදා දක්වායි. 

ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව‍ මෙම නියෝගය ලබාදී තිබෙනවා. 

මොරටුව මහ නගර සභාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සිය හිතවතුන්ට ලබාදීමෙන් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකට ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 


04. ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබද දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
 
එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් සහ විරුද්ධව ඡන්ද 01ක් හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මත වූ බවයි. 




05. සම්පත් මනම්පේරිට අයත් බව කියන මෝටර් රථයක් හමුවෙයි

පියල් මනම්පේරිගේ සහෝදරයෙක් වන සම්පත් මනම්පේරිට අයත් බව කියන මෝටර් රථයක් ඊයේ (09) ඇඹිලිපිටිය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. 

ඒ ඇඹිලිපිටිය නව නගරයේ ගරාජයක් තුළ තිබියදීයි. 

මීට දින 4කට පෙර පුද්ගලයෙක් පැමිණ මෙම මෝටර් රථය සම්පත් මනම්පේරිට ලබාදෙන ලෙස පවසමින් අදාළ මෝටර් රථය දමා ගිය බව මේ සම්බන්ධයෙන් ගරාජයේ හිමිකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබෙනවා. 




06. නේපාලය සහ ශ්‍රී ලංකාව අතර ගුවන්ගමන් අත්හිටුවයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ නේපාලයේ කත්මණ්ඩු ගුවන්තොටුපළ අතර සියලුම ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා.

එම ගුවන්ගමන් අද (10) උදෑසන සිට අත්හිටුවා තිබෙන බවයි වාර්තා වන්නේ.  




07. ඇල්ල අනතුරට හේතුවූ බස් රථයේ හිමිකරුට ඇප

ඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ඇල්ල - වැල්ලවාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථයේ හිමිකරුට ඇප හිමිවී තිබෙනවා.

ඒ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින්.


(colombotimes.lk)