19 September 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. රුසියාවට භූ කම්පනයක්

රුසියාවේ කම්චැට්කාහී ප්‍රබල භූ කම්පනයක් අද (19) සිදු වී තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය රික්ටර් මාපක 7.8ක අගයකින් හටගත් බවයි. 

ඇලස්කාවේ ඇලූටියන් දූපත්වලට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කළත් පසුව එය අවලංගු කර ඇති බව ඇමරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කළා. 

එම ආයතනය සඳහන් කළේ කැනඩාව සහ එක්සත් ජනපද බටහිර වෙරළ තීරයට ද සුනාමි අවදානමක් නොමැති බවයි. 



02. ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 22දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු ද සිල්වා විසින්.



03. සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම ගැන දැනුම්දීමක්

2025 (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ 2025 සැප්තැම්බර් 18වනදා සිට ඔක්තෝම්බර් 09වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ එය සිදු කරන බවයි.

ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මඟින්ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස්වලට අනුව මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

පෞද්ගලික අයදුම්කරුවන් අ.පො.ස. (සා.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමේදී ජාතික හැදුනුම්පත භාවිත කළ යුතුයි.

එමෙන්ම ජාතික හැදුනුම්පත නොමැති පෞද්ගලික අයදුම්කරුවන් තම භාරකරුගේ (මව හෝ පියා) ජාතික හැදුනුම්පත භාවිත කර ලියාපදිංචි වී අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අදාළ උපදෙස් කියවා ඒ අනුව නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



04. රජයට පවරාගත් උතුරේ ඉඩම් ගැන ආණ්ඩුවේ ස්ථාවරය කියයි

ආරක්ෂක හේතූන් මත රජයට පවරාගත් උතුරු පළාතේ ඉඩම් දේශපාලන වාසි අරමුණු කරමින් නිදහස් නොකරන බව අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා. 

ඒ ඊයේ (18) පැවති යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදීයි. 

මෙහිදී ඉඩම් ගැටලු පිළිබඳව එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා සහ බිමල් රත්නායක අමාත්‍යවරයා අතර ඇතිවූ කතාබහත් සමඟ රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. 



05. අලි රොෂාන්ට වසර 15ක සිර දඬුවම්

බලපත්‍ර නොමැතිව අලියෙක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු කළ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නැමැත්තාට බරපතළ වැඩ සහිත වසර 15ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඒ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.




06. 2026 අයවැයේ ප්‍රධාන ඉලක්කය පහදයි

ඉදිරි අයවැය රටේ සංවර්ධනයට අඩිතාලමක් වන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පවසනවා. 

ඔහු කියා සිටියේ පවතින සීමිත මුදල් ප්‍රමාණය මෙරටට ආයෝජන ගෙනෙන වැඩපිළිවෙළ සඳහා යොදවා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රජය අපේක්ෂා කරන බවයි. 

අයවැය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මේ බව සඳහන් කළා. 


(colombotimes.lk)