13 October 2025

logo

කාලයත් එක්ක මාරාන්තික වෙන Fatty Liver | Colombo Times BLOG



අපි හැමෝගෙම අක්මාවේ යම් ප්‍රමාණයක් තෙල් තැන්පත් වෙනවා. හැබැයි අක්මාවේ බරෙන් 5% -10%ට වඩා වැඩියෙන් මේදය තැන්පත් වෙලා තියෙනවා නම් තමයි Fatty Liver තත්වය ඇති වෙන්නේ කියලා පර්යේෂණවලින් හොයාගෙන තියෙනවා. අක්මාවේ තෙල්, එහෙමත් නැත්න්ම Fatty Liver ගැන තමයි අද අපි කියන්න යන්නේ. 
 
අක්මාවේ කාර්යභාරය



- ආහාර මාර්ගය හරහා උරාගන්නා හානිකර ද්‍රව්‍ය ශරීරයට ඇතුළුවීම පාලනය කිරීම
- සිරුරේ විෂ ඉවත් කිරීම
- හෝමෝන, විටමින් සහ ප්‍රෝටීන් නිෂ්පාදනය
- ග්ලූකෝස් සහ මේදය පාලනය සහ ගබඩා කිරීම
- පිත නිෂ්පාදනය
- රුධිරය කැටිගැසීමට අවශ්‍ය සංයෝග නිපදවීම
- කොලෙස්ටරෝල් නිෂ්පාදනය සහ පරිවෘතිය 


Fatty Liver ඇතිවීම සඳහා බලපාන හේතු



- මද්‍යසාර සහ මද්‍යසාර අඩංගු බීම වර්ග ගැනීම 
- පැණි බීම ගැනීම
- ශක්තිජනක පාන වර්ග අධික ලෙස පානය කිරීම
- පිටි සහිත ආහාර ගැනීම  
- අධික තරබාරුබව 
- දියවැඩියාව
- රුධිරයේ කොලෙස්ටරෝල් සහ මේදය අධික වීම
- ව්‍යායාම නොමැතිවීම 

Fatty Liver වර්ග දෙකක් තියෙනවා 

1. Alcoholic Fatty Liver  



මෙම තත්වය සුළු වශයෙන් හෝ මත්පැන් පානය කිරීම නිසා ඇතිවන තත්වයක්. මේ තත්වය නිසා පහසුවෙන්ම සිරෝසිස් ඇති වෙනවා කියලා වෛද්‍යවරු සඳහන් කරනවා. 

2. Non Alcoholic Fatty Liver  



මේ තත්වය ඇති වෙන්නේ මත්පැන් නිසා නෙමෙයි. අපේ ජීවන රටාව, කන කෑම බීම වගේ දේවල් නිසා.

නිසි කලට රෝගය හදුනා නොගැනීම නිසාත්, නිසි ප්‍රතිකාර නොලැබීම නිසාත් මෙම තත්වය හෙපටයිටීස් තත්වය දක්වා වර්ධනය වෙනවා. මෙහිදී අක්මාවේ සෛල ඉදිමීමට ලක්වෙන අතර අනතුරුව අක්මා සෛල තන්තුමය තත්වයකට පත් වී සිරෝසිස් දක්වා වර්ධනය වීමත්, අක්මාවේ පිළිකා ඇතිවීමත් සිදු වෙනවා. 

අක්මා රෝග නොසලකා හැරීමෙන් විශේෂයෙන්ම Fatty Liver තත්ත්වය නොසලකා හැරීමෙන් හෘද රෝග, දියවැඩියාව සහ  වකුගඩුවල රෝග වැනි බොහෝ රෝග වැළදීමට ඇති අවදානම වැඩි වෙනවා. 

Fatty Liver රෝග ලක්ෂණ 



Fatty Liver වැළඳුණු කෙනෙක්ට ගොඩක් වෙලාවට කිසිඳු රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. Fatty Liver රෝගයේ තියෙන භයානකම දේ තමයි ඒක. මොකද රෝගයේ දරුණු තත්ත්වයට පත්වන වෙනකන්ම රෝගය හඳුනා ගන්න හැකියාවක් නැහැ.

- දුබල බව හා ශරීරයේ වේදනාව 
- උදරයේ දකුණුපස ඉහළ කොටසේ වේදනාව
- ආහාර රුචිය නැතිවීම
- ඔක්කාරය හා වමනය
- සමහර අවස්ථාවලදී බර අඩුවීම 


රෝගය ඇති බවට තහවුරු කර ගැනීම සඳහා අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය, AST, ALT සහ සම්පූර්ණ කොලෙස්ටරෝල් පරීක්ෂණය මඟින් රුධිරයේ ට්‍රයිග්ලිසරයිඩර් මට්ටම බැලීම හරහා හැකියාව ලැබෙනවා.

අක්මාවේ තෙල් තැම්පත්වීම පාලනය සහ ප්‍රතිකාර



රෝගය හඳුනාගෙන, රෝගයේ මූලික අවධිවලදී ප්‍රතිකාර ලබා ගැනීමෙන් හා ජීවන රටාව වෙනස් කර ගැනීමෙන් සම්පූර්ණයෙන්ම Fatty Liver සුව කර ගන්න පුළුවන්.  

රෝගය පාලනය කර ගැනීම සඳහා කළ හැකි ප්‍රතිකාර 

- දිනකට අවම වශයෙන් මිනිත්තු 30ක් ඇවිදීම
- දිවීම, බයිසිකල් පැදීම හෝ පිහිනීම වැනි සුදුසු ව්‍යායාමයක යෙදීම
- හරක්මස්, ඌරු මස්, එළුමස්, ඉස්සන්, දැල්ලන්, කකුලුවන්, පොකිරිස්සන් වැනි ආහාර අවම කරන්න
- ගැඹුරු තෙලේ බදින ලද තෙල් සහිත ආහාර ගැනීමෙන් වළකින්න
- පාන් පිටි සහිත ආහාර ගැනීමෙන් වළකින්න
- ක්ෂණික ආහාර හැකි තරම් අවම කරන්න
- කිරි පිටි, මුදවපු කිරි, බටර්, මාගරින් ,චීස් වැනි ආහාර ගැනීමෙන් වළකින්න 
- මත්පැන් සහ මද්‍යසාර ගැනීමෙන් වළකින්න
- එළවළු, පළා වර්ග වැඩිපුර ආහාරයට ගන්න 
 
ඔබත් මෙම Fatty Liver තත්වයෙන් පීඩා විඳිනවා නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් මුණගැසී අවශ්‍ය උපදෙස් ලබා ගන්න. 

ඒ වගේම නිසි ප්‍රතිකාර ගැනීමෙන් මෙම රෝගය සම්පූර්ණයෙන්ම වගේ සුව කළ හැකි නිසා වෛද්‍ය උපදෙස් නිසි ලෙස පිළිපදින්න.


(colombotimes.lk)