23 October 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. අයහපත් කාලගුණයෙන් සිදු වූ පුද්ගල මරණ ගැන අනාවරණයක්

දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට අයත් පවුල් 2,609ක පුද්ගලයන් 10,553ක් මේ වන විට පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

මෙම අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 04ක් ද සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම නිවාස 387කට අර්ධ හානි සිදු වී ඇති අතර නිවාස 02කට පූර්ණ ලෙස හානි සිදුවී තිබෙනවා. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 36කට අයත් පුද්ගලයන් 152දෙනෙක් ඥතී නිවෙස්වල රැඳී සිටින බවයි. 

එමෙන්ම පුද්ගලයන් 30දෙනෙක් තිඹිරිගස්යාය ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථානයක රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා. 



02. ඇමරිකාවෙන් නැවතත් රුසියාවට සම්බාධක

රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙක ඉලක්ක කරගනිමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව සම්බාධක ප්‍රකාශයට පත්කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්‍රේන සාම ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මොස්කව් වෙත බලපෑම් කිරීමේ අරමුණිනේ මෙම සම්බාධක පනවා ඇති බවයි. 

ඒ අනුව රුසියාවේ විශාලතම තෙල් සමාගම් වන රොස්නෙෆ්ට් සහ ලුකොයිල් ඉලක්ක කරගනිමින් ඇමරිකාව  මෙලෙස නව සම්බාධක පනවා තිබෙනවා. 




03. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන රජයේ තීරණය නලින්ද කියයි

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය තීරණයක් ගෙන නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. 

ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

අමාත්‍යවරයා එහිදී කියා සිටියේ මරණ දඬුවම ක්‍රියාත්මක විය යුතු බවට සමාජ කතිකාවතක් නිර්මාණය වීමේ හැකියාව පවතින බවයි. 

කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් රජය ආරම්භ කර නොමැති බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා. 



04. පෙර පාසල් විෂය මාලාව ගැන අග්‍රාමාත්‍යවරිය විශේෂ තීරණයක් ගනියි

2026 වසරේ සිට දිවයින පුරා සියලුම පෙරපාසල් සඳහා එකම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. 

ඒ අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුව ඊයේ (22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි. 

පූර්ව ළමාවිය විෂය මාලා රාමුව මේ වන විට සම්පූර්ණ කර අවසන් වී ඇති අතර 19,000කට ආසන්න පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ නිලධාරීන්ගේ පුහුණු වැඩසටහන 2025 නොවැම්බර් මස 25වන දින ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. 

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ එහිදී සෑම පළාතකම ගුරු පුහුණුවීම් සිදු කරන අතර එමඟින් නව විෂයමාලා රාමුවකට අනුව ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බවයි. 




05. මාරක අනතුරකින් පාසල් සිසුවෙක්ට දිවි අහිමි වෙයි

බණ්ඩාරගම පොලිස් වසමේ පානදුර - හොරණ මාර්ගයේ කොතලාවල හන්දිය අසලදී අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට ප්‍රවේශ වීමට ගිය යතුරුපැදියක් බස් රථයක ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු බණ්ඩාරගම රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ අවුරුදු 17ක් වූ යටියන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙක් බව පොලීසිය පවසනවා.



06. පාර්ලිමේන්තුව විශේෂ පරීක්ෂාවකට 

නොවැම්බර් මාසයේ දින 03ක් පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක පරීක්ෂාවකට ලක් කිරීමකට තීරණය කර තිබෙනවා.

මේ බව කථානායකවරයා අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ. 


(colombotimes.lk)