25 October 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. වික්නරාජ් වක්ෂාන්ගෙන් රිදී පදක්කමක්

සිව්වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ඉන්දියාවේ රන්චිහීදි ඊයේ (24) ආරම්භ වී තිබෙනවා.

එහිදී පිරිමි මීටර 5000 ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට වික්නරාජ් වක්ෂාන් සමත් වුණා. 

ඒ විනාඩි 14යි තත්පර 23.21ක දක්ෂතාවක් වාර්තා කරමින්. 



02. ප්‍රදේශ කිහිපයක ජනතාවට අවධානයෙන් සිටින ලෙසට ඉල්ලීමක් 

දිවයිනට බලපා තිබෙන අධික වර්ෂාපතනයත් සමඟ ජලාශ කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල, මාතර, කළුතර‍‍, කොළඹ, නුවර, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කයන් වෙත අධික වර්ෂාපතනයක් ලැබුණු බවයි. 

එමෙන්ම කැලණි, අත්තනගලු, ගිං, බෙන්තර ආශ්‍රිතවද මිලිමීටර් 50කට ආසන්න වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම වර්ෂාපතනය හමුවේ වැඩිම බලපෑම සිදුවී ඇත්තේ කළු ඟග ආශ්‍රිතව බවයි.

එමනිසා කළු ගඟේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර, මිල්ලකන්ද, ඇල්ලගාව ප්‍රදේශයන්හී ජල මට්ටමේ වැඩි වීමක් නිරීක්ෂණය වී ඇති බවයි.

ඉදිරියේදී සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණ හොත් ගංවතුර තත්ත්වයන් ඇති වීමේ හැකියාව පවතින බැවින් කළු ගඟ ආශ්‍රිත පදිංචිකරුවන් මේ සම්බන්ධව අවධානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීම්කද සිදුකර තිබෙනවා. 




03. මාරක අනතුරක් - තරුණයෙක් ජීවිතක්ෂයට

මළබඩ හන්දිය දෙස සිට පුහාබුගොඩ දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ දොඩන්ගොඩ පොලිස් වසමේ මළබඩ පුහාබුගොඩ මාර්ගයේදීයි.

එම රිය අනතුරෙන් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලීසිය සඳහන් කළා. 

අනතුරින් යතුරුපැදියේ පැදිකරු හා පිටුපස ගමන් කළ දෙදෙනාම තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී යතුරුපැදියේ පිටුපස ගමන් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක් වූ යටදොල, නාවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 



04. දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්

මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සි දොලවත්ත පවසනවා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පසුගියදා ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය මුල් කරගනිමින් අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ යුතු බවයි. 

 


05. සුළු ගංවතුර අවදානමක් පවතින ප්‍රදේශ ගැන දැනුම්දීමක්

දිවයිනේ පවතින අධික වර්ෂාපතනයත් සමඟ ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි ප්‍රදේශ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන තිබෙනවා.
 
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම් වල සුළු ගංවතුර තත්ත්වයක් හට ගැනීමට වැඩි හැකියාවක් පවතින බවයි.  



06. රොෂාන් රණතුංගගෙන් රිදී පදක්කමක්

ඉන්දියාවේ පැවැත්වෙන 4වන දකුණු ආසියායනු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (25) පැවති පිරිමි මීටර 110 කඩුලු මතින් දිවීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට රොෂාන් රණතුංග සමත් වී තිබෙනවා. 

ඒ එම තරගය ඔහු තත්පර 13.90ක දක්ෂතාවක් දක්වමින් අවසන් කිරීමත් සමඟයි. 

මෙහි රන් පදක්කම සහ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනෙක් සමත් වී තිබෙනවා.




(colombotimes.lk)