22 November 2024


ජොන්ස්ටන් ඉදිරිපත් කළ රිට් පෙත්සම ඉල්ලා අස්කර ගනියි



ලියාපදිංචි නොකළ BMW මෝටර් රථයක් භාවිතා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගොනු කළ රිට් පෙත්සම අද (05) අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.

මෙම පෙත්සම මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

තම සේවාදායකයාට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදී ඇති බැවින් එම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බව ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
 
එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණය පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දෙමින් පෙත්සම නිෂ්ප්‍රභ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)