colombotimes.lk
සිංහල | English

27 April 2024

කැලණිතිස්ස බලාගාරය සති 6කට නවතියි



කැලණිතිස්ස බලාගාරය සති 6ක කාලයක් සඳහා වසා දමා තිබෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු අංශය සඳහන් කළේ, ගෑස් සහ වාෂ්ප ටර්බයිනයේ නඩත්තු කටයුතු හේතුවෙන් ඊයේ (17) සිට බලාගාරය සති 6 ක් සඳහා වසා දැමූ බවයි.

එමගින් ජාතික පද්ධතියට අහිමි වන විදුලි ධාරිතාව මෙගාවොට් 165 ක් බව සඳහන්.

මේ අතර කාර්මික දෝෂයක් හේතුවෙන් අක්‍රිය කල, නොරොච්චෝල ලක් විජය තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය ද ජාතික පද්ධතියට එක් කිරිමට දින 05 ක් ගත වනු ඇතැයි විදුලි බල මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය ඊයේ නිවේදනය කළේ, බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ අධි පීඩන හීටර් පද්ධතියේ ඇතිවූ හදිසි බිඳවැටීමක් නිසා එය ක්‍රියා විරහිත කිරීමට සිදුවූ බවයි.

එමගින් ජාතික පද්ධතියට අහිමි වන විදුලි ධාරිතාව මෙගාවොට් 300 ක් බව සඳහන්.

නොරොච්චෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය ද නඩත්තු කටයුත්තක් හේතුවෙන් මේ වන විට පවතින්නේ අක්‍රිය තත්ත්වයකයි.

එමගින් ද මොගාවොට් 300 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමි වනු ඇති.

කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලය පැවසූවේ, අඛණ්ඩ විදුලිය සැපයුමට බාධාවක් නොවන බවයි.

මේ වන විට ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල ධාරිතාව සියයට 88 දක්වා ඉහළ ගොස් ඇති බැවින් ජල විදුලි නිෂ්පාදනය කරමින් අඛණ්ඩව විදුලිය සැපයීමට කටයුතු කරන බව ද මණ්ඩලය සඳහන් කළා.
(colombotimes.lk)