10 March 2025


නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට



නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වර්ෂයේ දියත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඇය වැඩිදුරටත් කියා සිටියේ 2025 වර්ෂය තුළ ඒ වෙනුවෙන් සූදානම්වීමේ ක්‍රියාවලිය සිදු වන බවයි.   

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අගමැතිනියගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ඇය කියා සිටියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුළුණු 05ක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිත බවයි.

එමෙන්ම නව විෂය නිර්දේශයක් හඳුන්වාදීම, මානව සම්පත් දියුණු කිරීම, යටිතල පහසුකම් දියුණු කිරීම, මහජනතාව දැනුවත් කිරීම සහ නිසි තක්සේරුව සහ ඇගයීම යන ප්‍රධන කුළුණු යටතේ මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පළමු ශ්‍රේණියේ සහ හයවන ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් 2026 වර්ෂයේ ප්‍රථමයෙන් හඳුන්වාදීමට මේ වන විටත් කටයුතු යොදා තිබෙන බව අගමැතිවරිය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)