අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා වන රුපියල් 3000ක දීමනාව මේ මස 20වනදා සිට ගෙවීමට පියවර ගන්නා බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසනවා.
එහි අධ්‍යක්ෂ චතුර මිහිදුම් සඳහන් කළේ මීට පෙර එම දීමනාව සෑම මසකම 15වනදා ගෙවීමට පියවර ගෙන තිබූ බවයි.
කෙසේ වෙතත් විවිධ ප්‍රායෝගික ගැටලු හේතුවෙන් පසුගිය කාල සීමාවේදී නිශ්චිත දිනයක් තුළ එම දීමනාව ගෙවීමට නොහැකි වීමෙන් වැඩිහිටියන් අපහසුතාවයට පත්ව තිබෙනවා.
චතුර මිහිදුම් වැඩිදුරටත් කියා සිටියේ ඒ හේතුවෙන් අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර එම දීමනාව සහ හිඟ දීමනා තැපැල් හා උපතැපැල් කාර්යාල හරහා මේ මාසයේ 20වනදා සිට ගෙවීමට කටයුතු කරන බවයි.
අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන එම දීමනාව පසුගිය නොවැම්බර් සිට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සෘජුවම අස්වැසුම ගිණුම්වලට බැර කර තිබෙනවා.
(colombotimes.lk)