28 December 2024


Travel Times | ත්‍රිකුණාමලයේ ඇති පරවි අභිජනන භූමිය



ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංචාරය කරන ඔයාට යන්න පුළුවන් හොදම ස්ථානයක් විදියට පරවි දූපත හදුන්වන්න පුළුවන්. පරවි දූපත 1963 වර්ශයේදී අභයභූමියක් විදියට නම් කළා වගේම 2003 අවුරුද්දේදී ජාතික වනෝද්‍යානයක් විදියට ප්‍රකාශයට පත් කළා. මෙය ලංකාවේ 17 වන ජාතික වනෝද්‍යානය විදියට අපිට හදුන්වන්න පුළුවන්. මේ දුපතට 'පරවි දූපත' කියන නම ලැබිලා තියෙන්නේ මෙහි විශාල ලෙස පරවියන් ඉන්නා නිසා. ඇත්තටම කිව්වොත් මේ දූපත ඔවුන්ගේ ප්‍රධාන අභිජනන භූමියක් විදියට අපිට හදුන්වන්න පුළුවන්. මෙය නාවික හමුදාව යටතේ තමයි පාලනය වෙන්නේ.

 
Pigeon Island National Park: Top Things To Do Here
 
පරවි දුපතට යන්නේ කොහොමද ?
 
කලින් කිව්වා වගේ පරවි දුපත පිහිටලා තියෙන්නේ ත්‍රිකුණාමලයේ. මේ දුපත ගොඩබිමින් 1km ක් විතර ඈතින් මුහුදේ පිහිටි දූපතක්. අපි හැමෝම දන්න නිලාවැලි වෙරළ තීරය ආශ්‍රිතව තමයි පරවි දූපත තියෙන්නේ. කොළඹ ඉදලා පරවි දුපතට 281.4 kmක දුරක් තියෙනවා. ඔයා බස් එකේ යන්න හිතාගෙන ඉන්නවා නම් කොළඹ කොටුවෙන් කොළඹ - ත්‍රිකුණාමලය බස් එකක නැගලා ත්‍රිකුණාමලයෙන් බහින්න ඕනේ. ත්‍රිකුණාමලයේ ඉදලා ඉතිරි දුර Taxi එකක යන්න ඕනේ.
 
ඔයා කැමති ට්‍රේන් එකේ යන්න නම් කරන්න තියෙන්නේ පොඩි දෙයයි. කොළඹ කොටුවෙන් ත්‍රිකුණාමලයට යන ට්‍රේන් එකක නැගලා ත්‍රිකුණාමලය ස්ටේෂන් එකෙන් බහින්න. ඊට පස්සේ ඉතින් ඉතිරි දුර Taxi එකක තමයි යන්න තියෙන්නේ.
 
ගොඩබිමේ ඉදලා පරවි දූපතට යන්න වෙන්නේ බෝට්ටුවකින්. ඔයාට ලේසියෙන්ම ඒ ප්‍රදේශයෙන් බෝට්ටුවක් හොයාගන්න පුළුවන්. ඔයාට මේ ගමන අනිවාර්යයෙන්ම අලුත් වගේම සුන්දර අත්දැකීමක් වෙනවා නොඅනුමානයි.
 
Excursie Pigeon Island, Snorkelen - Van Verre
 
පරවි දුපතේ සුන්දරත්වය
 
කිමිදීම, කොරල් පර නැරඹීම, මුහුදු මසුන් නැරඹීම සදහා ලංකාවේ ඇති හොදම ස්ථානයක් විදියට පරවි දූපත හදුන්වන්න පුළුවන්. මේ හේතූන් නිසාම විශාල ලෙස විදෙස් සංචාරකයන් මෙම පරවි දූපත වෙත පැමිනෙනවා. මේ ආශිත මුහුදේ කොරල් විශේෂ 100 ක් පමණ හා කොරල් පර ආශ්‍රිත ජීවත්වන මත්ස්‍ය විශේෂ 300 ක් පමණ නිරීක්ෂණය කිරීමටත් ඔයාට හැකියාව තියෙනවා.
 
පරවි දූපත වෙත විදේශීය සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන්නේ ජූලි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා අතර කාලය තුළයි. මොකද ඒ කාලසීමාව තුළදී මුහුදේ රළු ස්වභාවය අඩුවීම හේතුවෙන් කිමිදීම් කටයුතුවලට හා කොරළ් නැරඹන්නත් පහසු නිසා.
 
ඒ වගේම සති අන්ත සහ පාසල් නිවාඩු කාලවලදී දේශීය සංචාරකයන් මෙහි වැඩි වශයෙන් පැමිණෙනවා. 'Blacktip Reef Shark” නමින් හදුන්වන මෝර විශේෂයද පරවි දූපත ආසන්න මුහුදේ දිවි ගෙවයි. සාමාන්‍යයෙන් මෙම මෝර වර්ගය මිනිසාට පහර දීමට නොපෙළඹෙන බව තමයි කියවෙන්නේ. තවද කැස්බෑවන් විශේෂ කිහිපයක්ද මේ දූපත ආශ්‍රිතව ඔයාට දැක බලාගන්න පුළුවන්.
 
Guide to Pigeon Island: Sri Lanka
 
Special Note
 
පරවි දූපතේ ප්ලාස්ටික් භාජන විතරක් නෙමෙයි කඩදාසි කැල්ලක් හෝ තැන තැන දැමීම තහනම්. ගෙන එන සියලු දේවල් ආපසු රැගෙන යන්න ඕනේ. ඒ වගේම බීමත්ව දූපතට එන එකත් සපුරා තහනම් අතර, දූපතට මද්‍යසාර ගෙන ඒමටද තහනම්. මෙම අපූරු දූපතේ සුන්දරත්වය ආරක්ෂා කිරීමට වෙහෙසෙන පොලිස් නිලධාරීන්ගේ සහ වනජීවී නිලධාරීන්ගේ කාර්යභාරය සැබවින්ම මෙහිදී අපි අගය කරන්න ඕනේ.
 
පරවි දූපතේ ඇවිදගෙන යනකොට වඩාත් කල්පනාකාරී වීම වැදගත්ම. මොකද වෙරළ පුරාම විසිරී තියෙන බෙලි කටු නිසා ඔයාගේ කකුල් කැපී යාමේ අවදානමක් තියෙනවා. ඒ වගේම කොරල්පර ආශ්‍රිතව කිමිදීමේදී ද තුවාල වීමට ඉඩකඩ ඇති අතර, කිමිදෙනකොට කොරල් ඇල්ලීම, කොරල් මත ඇවිදීම, සිටගෙන සිටීම හෝ ඉඳගෙන සිටීම නම් කරන්න එපා. මොකද එහෙම කළොත් ඔයාට වගේම කොරල් වලටත් හානි වෙන්න පුළුවන්.
 
අතිසංවේදී කොරල් පර සහිත කලාපය මෙහිදී වෙන්කරලා තමයි තියෙන්නේ. එම කලාපයට ඇතුළුවීමට සපුරා තහනම්. ඉතින් මේ තරම් පාරසරික වටිනාකමක් තියෙන, සංචාරක ආකර්ෂණයක් තියෙන පරවි දූපත රැකගැනීම අපේ යුතුකමක් සහ වගකීමක්.
 
(Dinithi Thilakarathne @ COLOMBO TIMES)