23 June 2025


රුසියාව, චීනය සහ පාකිස්ථානය UN ආරක්ෂක මණ්ඩලයෙන් කළ ඉල්ලීම



මැද පෙරදිගට වහාම කොන්දේසි විරහිත සටන් විරාමයක් ඉල්ලා රුසියාව, චීනය සහ පාකිස්ථානයෙන් එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි සැසිවාරයේදී යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. 
 
ඔවුන් මෙම යෝජනාව මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට පහරදීම වහා නතර කළ යුතු බවයි. 
 
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 
 
එමෙන්ම අන්තර් ජාතික පරමාණු බලශක්ති ඒජන්සිය ප්‍රකාශ කළේ මෙවැනි ප්‍රහාරවලින් භයානක ප්‍රතිඵල ඇතිවිය හැකි බවයි. 
 
එමෙන්ම, ඉරානයට එල්ල වූ ඇමරිකානු ප්‍රහාරයෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් සමඟ ඊයේ දුරකථන සංවාධයක නිරතව තිබෙනවා. 
 
මිනිත්තු 45ක් පැවති මෙම සාකච්ඡාවේදී ගැටුම් උග්‍රවීම මැඩපැවැත්වීම සඳහා සංවාදය සහ රාජතාන්ත්‍රිකභාවය අවශ්‍ය බවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉරාන ජනාධිපති සිය ස්තූතිය පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ. 
 
මීට අමතරව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාරයෙන් පසු රතු මුහුදේදී ඇමරිකානු නැව්වලට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව යේමනයේ හූති කැරලිකරුවන් පවසනවා.

(colombotimes.lk)