21 May 2025


සේවක අර්ථසාධක අරමුදල් සේවාවන් යළි ආරම්භ කිරීම ගැන විශේෂ නිවේදනයක්



සේවක අර්ථසාධක අරමුදල් සේවාවන් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ දිවයින පුරා පිහිටි කම්කරු කාර්යාලයන්හී සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම් පත්‍ර භාරගැනීම අද (21) දහවල් 12 සිට සාමාන්‍ය පරිදි සිදු කරන බවයි.

සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ සිදුකරන හදිසි සහ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු අවසන් කර ඇති බැවින් මෙලෙස සේවාවන් ආරම්භ කළ බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා දැනුම්දී තිබෙනවා.

මීට පෙර දැනුම්දී තිබුණේ සේවක අර්ථසාධක අරමුදලට අදාළ සේවාවන් ලබාදීම අද සිට ලබන 23වනදා දක්වා තාවකාලිකව අත්හිටු වන බවයි.

 
(colombotimes.lk)