17 March 2025


කොරියාවේ E-8 රැකියා ලබාදෙන පවසා මුදල් වංචා කළ සැකකරුවෙක් අත්අඩංගුවට



දකුණු කොරියාවේ E-8 කාණ්ඩය යටතේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් රුපියල් මිලියන 03කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙක් කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කුරුණෑගල ප්‍රදේශයේදීයි.

E-7 සහ E-8 කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසමින් විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගෙන ප්‍රදේශයෙන් පළා ගොස් සැඟව සිටියදී විදේශ සේවා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු වෙත ලද බුද්ධි තොරතුරක් මත අදාළ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුට එරෙහිව ගාල්ල අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබූ බැවින් ඔහු එදිනම සවස ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

එහිදී සැකකරු එළඹෙන 27වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)