22 November 2024


ප.ව. 2.00න් පසු ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි



නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (31) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු පළාතේත් අනුරාධපුර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව සඳහන්.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇතිවන බව සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)