13 September 2025

logo

රමිත් රඹුක්වැල්ල මාස 21කට ඉපැයූ වත්කම් මෙන්න



හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (12) අධිචෝදනා ගොනු කර තිබෙනවා. 

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ මාස 21ක කාලයක් තුළ රමිත් රඹුක්වැල්ල රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහු එම මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කර තිබෙනවා. 

එලෙස මුදල් උපයාගත් ආකාරය අනාවරණ කිරීමට නොහැකි වත්කම් අතර සුඛෝපභෝගි නිවාස, ජීප් රථ ඇතුළු වත්කම් රැසක් පවතින බවයි වාර්තා වන්නේ. 

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරන සමයේදී රමිත් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් ද කටයුතු කර තිබෙනවා. 

එම ධූරයේ කටයුතු කරන අතරතුර 2022 වසරේ ජනවාරි මස 01වනදා සහ 2023 වසරේ නොවැම්බර් මස 14වනදා අතර දක්වා මාස 21ක කාලසීමාව තුළ ඔහු රුපියල් 296,566, 444.76ක් වටිනා වත්කම් හා දේපොළ උපයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඉන් රුපියල් 275,302,616.06ක වටිනාකමකින් යුත් මුදල් හා දේපළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට රමිත් රඹුක්වැල්ල අපොහොසත් වී තිබෙනවා. 

එමනිසා අල්ලස් කොමිසම දූෂණ විරෝධී පනත යටතේ අධිචෝදනා ගොනුකර තිබෙන බවයි වාර්තා වන්නේ. 

තවද එලෙස උපයාගත් ආකාරය අනාවරණ කිරීමට නොහැකි වූ වත්කම් අතර කොළඹ 07 ධර්මපාල මාවතේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක රුපියල් කෝටි 8ක් සහ රුපියල් 06 කෝටි පනස් ලක්ෂයක් වටිනා නිවාස 02ක් ද ඇතුළත්.
 
එමෙන්ම රමිත්ගේ නමින් තිබෙන බැංකු ගිණුම් 4ක්, ඔහුගේ බිරිඳට අයත් බැංකු ගිණුම් 4ක්, එක්කෝටි අසූ ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ඩිස්කවරි ජීප් රථයක් ඇතුළු වත්කම් රැසක් පවතින බවයි වාර්තා වන්නේ. 

එසේම විත්තිකරුගේ හා බිරිඳගේ නම්වලින් ඇති බැංකු ගිණුම්වල ස්ථාවර තැන්පතු ද ආරම්භ කර තිබෙනවා. 

(colombotimes.lk)