15 January 2025


නාම යෝජනා පත්‍ර ගැන නීතිපති උපදෙස් ගැනීමට යයි



පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට තීරණ‍ය කර තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් සිය අමාත්‍යාංශයේ නීති අංශයට දැනුම් දුන් බවයි පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ. 
 
දැනට ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙමින් පවතින බැවින් මෙම පියවර ගන්නා බව අමාත්‍ය ජානක වක්කුඹූර මහතා පැවසුවා. 
 
ඒ අනුව නීතිපති උපදෙස් ලබාගෙන කඩිනමින් ඒ පිළිබඳව පළාත් පාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයිය උපදේශක කාරක සභාවට දැනුම් දෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 
 
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කරන ලෙස ආණ්ඩු පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගෙන් ද ඉල්ලීම් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වී තිබෙන බව ද අමාත්‍යවරයා පැවසුවා. 
 
අවශ්‍ය නම් යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීමට අදාළව පනත් කෙටුම්පතක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ද ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවයි ඔහු පැවසුවේ. 
 
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීම සම්බන්ධයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පළාත් පාලන සහ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයිය උපදේශක කාරක සභා රැස්විමේදී යෝජනාවක් ඉදිරිපත් වුණා.
(colombotimes.lk)