15 January 2025


අර්චුනාට එරෙහිව ගොනු කර ඇති පෙත්සමේ නියෝගය කල්යයි



තමන්ට එරෙහිව ගොනු කර ඇති පෙත්සමකට සීමිත විරෝධතා ගොනුකිරීම සඳහා අවසර දෙන ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා
රාමනාදන් සිය නීතිඥවරු මාර්ගයෙන් අද (15) අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එම මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු එම්. ගොපල්ලව ඉදිරියේ කැඳවා තිබෙනවා.

එහිදී වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනානි දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ තම සේවාදායකයාට මෙම නඩුකරයට අදාළව විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙසයි.

එහිදී විනිසුරු මඩුල්ල නිසියාකාරව පත්වී නොමැති වීම හේතුවෙන් මෙම ඉල්ලීම ඊළඟ දින සිදුකරන ලෙස විනිසුරුවරයා එම නීතිඥවරයාට දැනුම්දී තිබෙනවා.

අනතුරුව අදාළ පෙත්සම ලබන 31වනදා කැඳවීමට නියම කළ බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)