22 November 2024


ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම්



බදුල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතර, රත්නපුර, දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක් සඳහා අද (07) පස්වරු 3.00 දක්වා වලංගු වන පරිදි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නායයෑම් පිළිබඳ දෙවන සහ පළමු අදියරේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. 

ඒ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්. 
 
ගංවතුර පවතින ප්‍රදේශවල මෙන්ම පිටවාන් දමන ජලාශවල පහළ ප්‍රදේශවල සිටින ජනතාව, එම තත්ත්වයන් පිළිබඳ විමසිලිමත්ව කටයුතු කළ යුතු බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසුවේ. 
 
ඊයේ (06) පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මිලි මීටර් 150ක් ලෙස හක්වටුනා ඔය ප්‍රදේශයෙන් වාර්තා වුණා. 
 
කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු අටක් ඊයේ (06) දහවල් වන විට විවෘත කර තිබූ අතර එයින් තත්පරයට ඝනඅඩි 17,200ක ධාරිතාවකින් ජලය පහළට ගලාගෙන යනවා. 
 
මෙම තත්ත්වය සැලකිය යුතු මට්ටමේ ජල ධාරාවක් බව ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතා පැවසුවා. 
 
නිල්වලා ගඟ සහ අත්තනගලු ඔයේ පහළ ප්‍රදේශවල ජල මට්ටම් ඊයේ දහවල් වන විටද සුළු ගංවතුර මට්ටමක පැවතුණා. 
 
ඊයේ (06) පස්වරු 3.30 පමණ වන විට වලවේ ගඟේ ජල මට්ටම ද විමසිලිමත් වීමේ මට්ටමක පැවතුණා.
(colombotimes.lk)