22 November 2024


ගෝල්ෆේස් පිටිය ගැන රජය ගත් අලුත්ම තීරණය මෙන්න



ගාලු මුවදොර පිටිය විවිධ සාමාජ ක්‍රියාකාරකම් සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.

ඒ අද (06) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලිත සමාගමක් වන ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශක සේවා පුද්ගලික සමාගමේ කළමනාකරණය සහ පරිපාලනය යටතේ පවතින ගාලු මුවදොර පිටිය ආගමික කටයුතු හැර වෙනත් කටයුතුවලට භාවිතා කිරීම සඳහා අවසර ලබා නොදීමට 2023‑04‑17 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබුණා.

ගාලු මුවදොර පිටිය පරිපාලනයට සහ නඩත්තුවට මාසිකව ආසන්න වශයෙන් රුපියල් මිලියන 2.5-3.0ක පමණ පිරිවැයක් දැරීමට සිදු වනවා.

එම මුදල ආවරණය කර ගැනීමට සහ 2023 වසරට පෙර පැවති ආකාරයෙන් දෙස් විදෙස් සංචාරකයන්ට නිදහසේ ගැවසිය හැකි වඩාත් ආකර්ෂණීය හා ආරක්ෂිත ස්ථානයක් වශයෙන් ද ජනතාවට නිදහසේ සහභාගිවීමට අවකාශය සලසන උත්සව, සංගීත ප්‍රසංග සහ වෙනත් සැමරුම් සඳහා සුදුසු නිර්ණායකයන්ට යටත්ව ගාලු මුවදොර පිටිය භාවිත කිරීමට අවස්ථාව සලසාදීම යෝග්‍ය බව පෙනී ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව “පිරිසිදු හා හරිත ගාලු මුවදොර පිටියක්” යන සංකල්පය මත පදනම්ව ගාලු මුවදොර පරිපාලනය වඩාත් ක්‍රමවත්ව සිදු කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

 
(colombotimes.lk)