ඊශ්‍රායලයට යවන ශ්‍රී ලාංකිකයින්ට හමුදා පුහුණුවක්?



ඊශ්‍රායලයේ රැකියා සඳහා විදෙස් ගතවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට හමුදා පුහුණුව ලබාදීමට කටයුතු කරන බව මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේ දී චෝදනා කර තිබෙනවා.

ඒ, ගාසා තීරයේ ගැටුම් ආරම්භ වූ දා සිට ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයින් ස්ථානගත කර ඇති බව පවසමින්.

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දැක්වූ කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළා.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, මෙසේ පදනම් විරහිත චෝදනා එල්ල කිරීම ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සබඳතාවලට බලපෑමක් ඇති කළ හැකි බවයි.

මීට අමතරව ශ්‍රී ලාංකිකයන් යුද්ධය පැවති ප්‍රදේශවලට යැවීම සහ ඔවුන්ගේ ජීවිත අවදානමට ලක්වන බවට එල්ල වන චෝදනා ද ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඊශ්‍රායලය විසින් අල්ලා ගන්නා ලද ප්‍රදේශවලට හෝ යුද වැදී ඇති ප්‍රදේශවලට කිසිදු සේවකයෙකු නොයවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
(colombotimes.lk)