ලබන 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් ගම්පහ මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මිය විසින් ගම්පහ අඩවි වන නිලධාරිවරයාට නොතීසි නිකුත් කර තිබෙනවා.
ඒ මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ දාරළුව ප්‍රදේශයේ තිබූ පඬුකරඳ ගසක් නීතිවිරෝධීව කපා වළ දැමූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි.
වඳවීමේ තර්ජනයට ලක්ව රතු දත්ත පොතේ නම සඳහන්ව ඇති කෲඩියා සෙලනිකා නමැති පඬු කරඳ ගසක් නීතිවිරෝධීව කපා ඉවත්කර ඇතැයි කියමින් ගම්පහ අඩවි වන කාර්යාලය මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට බී වාර්තාවක් මඟින් කරුණු දක්වා තිබුණා.
එම සිද්ධියට අදාළව නීතිඥ ලක්දිනු වීරසේකර මහතා මෝසමක් මගින් මෙම නඩුව ඊයේ (17) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරුණා.
එම පඬු කරඳ ගස මහ රෑ හොර රහසේ කපා වළ දමා ඇති බවත් කැබිනට් ඇමැතිවරයකු එම ගස කපා ඉවත් කිරීම කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව කළ බවට ප්‍රකාශ කර ඇති බවත් නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළා.
මේ නීතිවිරෝධී අපරාධය කර ඇති පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වන නිලධාරීන්ට හැකියාව ඇති බැවින් ඒ සඳහා භාවිත කර ඇති යන්ත්‍ර සූත්‍ර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ගම්පහ අඩවි වන නිලධාරීවරයාට අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසට දන්වමින් නොතීසි නිකුත් කළා.
(colombotimes.lk)