මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනිගේ දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චිට අපහාසාත්මක වන ආකාරයේ තොරතුරක් සමාජ මාධ්‍යයේ පළ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්.
අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ඉදිරියේ අද (30) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.
සැකකරු භාරයේ තිබී සොයාගත් ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
එම ඉල්ලීම සලකා බැලූ අධිකරණය අදාළ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමටත් අනතුරුව පැමිණිල්ල ජූලි මස 17වනදා කැඳවන ලෙසත් නියෝග කළා.
(colombotimes.lk)