24 January 2025


ඖෂධ මිල අඩු කිරීමට නව මිල පාලන යාන්ත්‍රණයක්



ඖෂධ මිළ අඩු කිරීම සඳහා නව මිල පාලන යාන්ත්‍රණයක් හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි සඳහන් කළේ නව ක්‍රමවේදය යටතේ මෙරටට ආනයනය කරන ඖෂධයක් විකිණිය හැකි උපරිම මිල පරාසයන් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

ඒ අනුව රුපියලකට ආනයනය කරන ඖෂධයක් විකිණිය හැකි උපරිම මිල රුපියල් 01.65ක් ලෙස දැක්වෙනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඖෂධ මිල නියාමන බලතල ජාතික ඖෂධ නියාමන අධිකාරීයට පැවරෙන පරිදි ඒ සඳහා රෙගුලාසි පනවන බවයි.

නව රෙගුලාසි පැනවීමත් සමඟ වරායේදීම ඖෂධවල මිල ගණන් තීරණය කළ යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දිවයිනට රැගෙන එන සෑම ඖෂධ තොගයක් සම්බන්ධයෙන්ම මිල නියාමනය සිදු කරන බවයි.

එය නිසි පරිදි ක්‍රියාත්මක වන ආකාරය සොයා බැලීමට ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ මිල පාලන කමිටුවට සිදු කිරීමට බලතල පවරන බවද වෛද්‍ය හංසක විජයමුණි සඳහන් කළා.

(colombotimes.lk)