13 August 2025

logo

මත්පැන් බෝතල්වලට වතුර කලවම් කර විකිණීමේ ජාවාරමක් අල්ලයි



ප්‍රධාන පෙළේ මත්පැන් සමාගමක් මඟින් නිකුත් කරන මත්පැන් බෝතල්වලට වතුර කලවම් කර විකිණීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය පොතුවිල් ප්‍රදේශයේ මත්පැන්හලක් වටලා තිබෙනවා.

ඒ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. ප්‍රේමරත්නට ලද තොරතුරකට අනුව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් සිදු කළ වැටලීමකදීයි.

එහිදී සුරාබදු නිලධාරීන් විසින් මත්පැන් බෝතල් 33ක් සිය භාරයට ගෙන තිබෙනවා.

පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම ජාවාරම්කරුවන් මත්පැන් බෝතල්වල මූඩි සූක්ෂම ලෙස ගලවා ඊට වතුර කලවම් කර නැවත මූඩි සවිකර විකුණා ඇති බවයි.

අදාළ මත්පැන්හල පරීක්ෂණ අවසන් වන තෙක් මුද්‍රා තබා තාවකාලිව වසා දැමීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා උපදෙස් ලබාදී තිබෙනවා.

(colombotimes.lk)