12 August 2025

logo

හැටන් ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් පොලීසියට විරෝධය



හැටන් නගරයේ අවිධිමත් ලෙස සහ රථවාහන නීති උල්ලංඝණය කරමින් ගාල් කර ඇති ත්‍රිරෝද රථ සහ වාහන ඉවත් කිරීමට යාමේදී  ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් පොලීසියට අද (12) විරෝධයක් එල්ලවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ හැටන් නගරයේ ත්‍රිරෝද රථ රැසක් අවිධිමත් ලෙස ගාල් කර තැබීම හේතුවෙන් වෙනත් වාහනයකින් පැමිණෙන පුද්ගලයන්ට වාහන ගාල් කර ගැනිමට ඉඩක් නොමැති බවයි. 

එමනිසා හැටන් දික්ඔය නගර සභාව සමඟ එක්වී රථවාහන සැලැස්මත් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. 

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ හැටන් දික්ඔය නගර සභාවේ ත්‍රිරෝද රථ 329ක් ලියාපදිංචි වී ඇති බවත් ඒ සඳහා හැටන් නගරයේ පමණක් ත්‍රීරෝද රථ ගාල් 15ක් ස්ථාපනය කර ඇති බවයි.

එම ත්‍රිරෝද රථ ගාල්වලද වරකට රථ 3ක් පමණක් ගාල් කර තැබිය යුතු අතර වාරය පැමිණෙන තෙක් මහජනතාවට අවහිර නොවන අයුරින් සුදුසු ස්ථානයක ගාල් කර තිබිය යුතු වනවා.

ත්‍රීරෝද රථ රියදුරන් සඳහන් කළේ මෙම රථ වාහන සැලැස්ම හේතුවෙන් ත්‍රිරෝද රථ කුලී ගමන් ගොස් ලබා ගන්නා මුදලින් ජීවිකාව ගෙනයාම අපහසු බවයි.

එමෙන්ම මෙම රථවාහන සැලැස්ම නිසා තමන් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මුහුණ දෙන බව එම රියදුරන් වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)