12 August 2025

logo

ත්‍රිකුණාමලය වරායට පැමිණි අමුත්තා



ඉන්දීය නාවික හමුදාවට අයත් 'INS Rana' නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (11) උදෑසන ත්‍රිකුණාමලය වරායට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ. 
 
මෙලෙස ත්‍රිකුණාමලය වරායට පැමිණි Destroyer වර්ගයට අයත් 'INS Rana' නෞකාව දිගින් මීටර් 147ක් හා නැව් මුළුව 300කගෙන් සමත්විත වන අතර නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් KP Sreesan කටයුතු කරනු ලබනවා. 
 
මෙම නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරන පුහුණු හා ක්‍රීඩා වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතයි. 

එමෙන්ම ශ්‍රී ලංකා හමුදා පුද්ගලයන් වෙනුවෙන් 'INS Rana' නෞකාව තුළ යෝගා වැඩසටහනක් පැවැත්වීමටත් ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බළඝණ මූලස්ථානයේ සහ නෞකාව තුළ පුහුණු වැඩසටහන් පැවැත්වීමටත් නියමිතව තිබෙනවා. 
 
මෙම 'INS Rana' නෞකාව 2025 අගෝස්තු මස 14වනදා නිල සංචාරය අවසන් කර දිවයිනෙන් පිටත්වයාමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)