ඕනම කෙනෙක්ට බැලු බැල්මට පෙන්නේ පොළොවෙන් උනන දිලිසෙන රිදී පාට වතුර ටිකක් විතරයි. ඒත් ඒ වතුරෙ බයිකාබනේට්, ක්ලෝරයිඩ්, සල්පේට්, නයිට්‍රේට්, පොස්පේට්, සිලිකා, කැල්සියම්, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම්, ලිතියම්, යකඩ, සිනික්, ඊයම්, කැඩ්මියම්, ෆ්ලෝරයිඩ්, සල්ෆයිඩ්, මැන්ගනීස් මේ ඔක්කොමත් එක්ක හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, කාබන්ඩයොක්සයිඩ් කියන වායු ටිකත් මේ වතුරේ එකතු වෙලා තියෙනවා. ඉතින් ඉඳලා හිටලා හරි මෙහෙම වතුර ටිකක් නාගන්න පුළුවන් නම් ඇඟට හරි ගුණයි.
ඉතින් මේ වගේ ඖෂධීය ස්නානයක් ලබාගන්න පුළුවන් ලංකාවේ තියෙන හොදම තැනක් තමයි මදුනාගල උණු දිය උල්පත් කියන්නේ.
උණු දිය උල්පත් බලන්න කොහොමද ?
කොළඹ ඉදලා 187kmක දුරකින් තමයි මදුනාගල උණු දිය උල්පත් පිහිටලා තියෙන්නේ. ඔයා දිය උල්පත් බලන්න බස් එකේ යනව නම් මුලින්ම කරන්න ඕනේ කොළඹ කොටුවෙන් සූරියවැව බස් එකක නගින එක. ඊට පස්සේ සූරියවැව ස්ටෑන්ඩ් එකෙන් බහින්න ඕනේ. ඊළගට රිදියගම යන බස් එකක (මේ බස් එක යන්නේ සූරියවැව-පදලංගල පාරේ) නගින්න ඕනේ.
පස්සේ සූරියවැව-පදලංගල පාරේ හතරමං හංදිය නමින් හැදින්වෙන ස්ථානයෙන් හැරිලා 4km ක් ගියාම ඔයාට උණු දිය උල්පත් වෙත ළඟා වෙන්න පුළුවන්.
ඒ වගේම අපිට උණුදිය උල්පත් බලන්න කොච්චියේත් යන්න පුළුවන්. ඔයා කොළඹ කොටුවෙන් නගින්න ඕනි බෙලිඅත්ත ට යන කෝච්චියක. ඊට පස්සේ බෙලිඅත්තෙන් බහින්න වෙනවා. ඊට පස්සේ බෙලිඅත්තෙන් සූරියවැව බස් එකක නැගල මම කලින් කිව්ව විදියටම බස් එකේ තමයි යන්න වෙන්නේ.
එහෙ මොනවද තියෙන්නේ ?
ඇඹිලිපිටිය හා හම්බන්තොට නගරයන්ට මැදිව සූරියවැව නගරයට ආසන්නයේ පිහිටා ඇති සංචාරකයන්ගේ ආකාර්ෂණය දිනාගත් ස්ථානයක් විදියට මදුනාගල උණු දිය උල්පත් හදුන්වන්න පුළුවන්. මදුනාගල ආරණ්‍ය සේනාසනයත් අනෙක් පසින් පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා වටිනා ඉපැරණි චිත්‍ර සොයාගත් කරඹගල වන රක්ෂිතයටත් මැදිව සුන්දර කුඹුරු යායක් මැද තමයි මේ ස්ථානය පිහිටලා තියෙන්නේ. ඖෂධීය ගුණයන්ගෙන් සම්පූර්ණ වූ උණු දිය ස්නානය කිරීමේ අවස්ථාවක් මෙහිදී ඔබට ලබාගන්න පුළුවන්.
මේ උණු දිය උල්පත වටකොට ජල ටැංකි පහක් හදලා තියෙනවා. මෙම ජල ටැංකි පහේ උෂ්ණත්වය එකින් එකට වෙනස් වන ආකාරයට තමයි ඉදිකරලා තියෙන්නේ. මෙහි ජලය තුළ උණුසුම නිසා දිය බුබුළු මතුවනවාත් අපිට දැකගන්න පුළුවන්. ඒ වගේම ජලය ටැංකියෙන් ටැංකියට ගලා යමින් ක්‍රමයෙන් උෂ්ණත්වය අඩු වන ආකාරයට සකස් කර ඇති නිසා සංචාරකයන්ට දිය නෑම සදහා එය විශාල පහසුවක් වෙනවා.
මෙම ස්ථානයෙහි කුරුළු උයන්, මින් මැදුරක්, කෞතුකාගාරයක්, සංචාරක නැවතුම්පළක් මෙන්ම පළතුරු උයකන් ද ඉඳිකරලා තියෙනවා ඔයාට බලාගන්න පුළුවන් . තාරාවන්, පරවියන්, හාවුන්, කොබෙයියන් වර්ග මෙන්ම තවත් බොහෝ සතුන් වර්ගයන් සිටින අතර, මින් මැදුර තුළ ද විවිධ දුර්ලභ මතස්‍ය වර්ග ගණනාවක් ම බලාගැනීමේ හැකියාව ඔයාට තියෙනවා.
කෑම බීම
ඔයාට අවශ්‍ය කරන කෑම බීම ගෙදරින් අරගෙන ඇවිත් මේ සුන්දර පරිසරයේ සිට රස බලන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් බාහිර වෙළඳුන් හට අයත් වෙළෙඳසැල් කීපයකුත් මේ ස්ථානයේ තියෙනවා. බිම වර්ග හා ස්නැක් අලෙවිකරන ස්ථාන, බෙලිමල් හා රණවරා බීම පානය කළ හැකි කඩ වගේම එළවළු විකුණන කඩත් ඒ අතර වෙනවා. ඉතින් ඒ නිසා කෑම බිම ගැන නම් බය වෙන්න දෙයක් නැහැ.
Special Note
උදේ 7 ඉඳල හවස 5 වෙනකම් තමයි මදුනාගල උණු දිය උල්පත් වල ජලයේ ආශ්වාදය ඔයාට විදින්න පුළුවන්. ඔයා මතක තියාගන්න ඕනේ විශේෂම දෙයක් තමයි පිටතින් බාල්දි නම් ඇතුලට අරගෙන යන්න දෙන්නේ නැහැ. ඒ වගේම තමයි විශාල වාහන නැවතුම්පලක් තියෙන නිසා වාහන නවත්තන එක ගැන කරදර වෙන්න ඕනෙත් නැහැ.
ඉතින් දකුණු පලාතේ සංචාරයට යන ඔයාටත් දැන් මාදුනාගල ගිහින් ඖෂධීය ජලයෙන් ගත සිත සනහාගෙන ගමනේ විඩාව දුරුකරගැනීමට අවස්ථාව තියෙනවා.
(Dinithi Thilakarathne @ COLOMBO TIMES)