07 February 2025


දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනයට බාධා - විකල්ප මාර්ග මෙන්න (PHOTOS)



දක්ෂිණ අධීවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර 102 වෙනි කිලෝමීටරයේ අද දින සවස ඇතිවූ නායයාමේදී අධිවේගී මාර්ග ආරක්ෂාව සඳහා රාජකාරීයේ යෙදී සිටි විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිවු දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. 

මෙම නාය යාම් තත්ත්වය මාර්ගය දෙපසම සිදු වී ඇති අතර මාර්ග දෙපස කඳුකර ප්‍රදේශයේ ඉහල කොටසේ පදිංචි වී සිටින ජනතාවට වහාම ආරක්ෂිත ස්ථානයන් කරා ගමන් කරන ලෙසත් මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින ලෙසත් දන්වා සිටින බවයි නිවේදනයක් නිකුත් කරමින් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ. 
 
මේ අතර පස් කන්දක් කඩා වැටීමෙන්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර කොටසේ 102 වැනි කිලෝමීටරයේ මංතීරු හතරම අවහිර වී තිබෙනවා. 
 
මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවට දැනුම් දෙන්නේ මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. 
 
ඒ අනුව කොට්ටාව සිට හම්බන්තොට දක්වා ගමන් කරන සියලු රථවාහන පින්නදූව පිවිසුමෙන් පිටවිය යුතු අතර, ගාල්ල, දෙනියාය මාදම්පේ ඔස්සේ ගමන් කර නැවත ඉමදූව පිවිසුවමන් අධිවේගී මාර්ගයට ඇතුළු විය හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. 
 
හම්බන්තොට සිට කොට්ටාව දෙසට පැමිණෙන සියලු රථ වාහන, ඉමදූව පිවිසුමෙන් පිටවිය යුතු අතර ගාල්ල දෙනියාය - මාදම්පේ මාර්ගය ඔස්සේ ගමන් කර නැවත පින්නදූව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු විය හැකි බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ.
(colombotimes.lk)