21 June 2025


ඊජිප්තුව හරහා එන ශ්‍රී ලාංකිකයන්ට අනිවාර්ය දෙයක් ගැන දැනුම්දීමක්



ඊශ්‍රායලයේ සිට ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් සතුව ඊශ්‍රායලයේ වලංගු වීසා බලපත්‍රයක් තිබීම අනිවාර්යය බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. 
 
ඊශ්‍රායලයේ ටෙල්අවිව් ගුවන්තොටුපළ වසා තැබීම හේතුවෙන් එරටින් පිටවීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් අදාළ ලියකියවිලි ලබාගැනීමෙන් පසු ඊජීප්තු දේශ සීමාව හරහා පැමිණිය හැකි බවට ඊශ්‍රායල තානාපති කාර්යාලය මීට පෙර දැනුම්දීමක් සිදු කර තිබුණා.

කෙසේවෙතත් ඊයේ (20) ඊජිප්තුව දේශසීමා පිවිසුම හරහා ගමන් කර එරට කයිරෝ ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාව බලායාමට පිටත්වූ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා අතර සිටි ඊශ්‍රායලයේ විසා නොමැති ශ්‍රී ලාංකිකයෙක් ඊජීප්තු බලධාරීන්ගේ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලට ලක්වී තිබෙන බවයි වාර්තා වන්නේ. 
 
ඉන්පසු ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත ඒ පිළිබඳ දැනුම්දී තිබෙනවා. 
 
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ අනතුරුව ඊජිප්තු දේශසීමා හා ආරක්ෂක නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට හැකිවූ බවයි.
 
එමෙන්ම හදිසි තත්ත්වයක් මත වුව ද ඊශ්‍රායලයේ වලංගු වීසා බලපත්‍ර නොමැති හෝ කල් ඉකුත්වූ වීසා බලපත්‍රවලින් විදේශිකයන්ට ඊජිප්තුවට ඇතුළුවීමට අවස්ථාව හිමි නොවන බවයි වාර්තා වන්නේ. 
 
ඊශ්‍රායල තානාපතිවරයා සඳහන් කළේ එලෙස ගමන් කිරීමට උත්සහ කළහොත් දීර්ඝ ප්‍රශ්න කිරීමකට ලක්වීමට මෙන්ම ඇතැම් විට අත්අඩංගුවට පත්වීමට පවා සිදුවිය හැකි බවයි.

(colombotimes.lk)