06 February 2025


පුද්ගලික දත්ත සොරාගැනීමේ ජාවාරමක් ගැන හෙළිවෙයි



රාජ්‍ය ආයතනවල ලාංඡන යොදා ගනිමින් රැකියා ඇබෑර්තු පවතින බවට ව්‍යාජ දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර පුද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල සඳහන් කළේ මහ බැංකුවේ නිල ලාංඡනය හා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ලාංඡනයද මෙලෙස යොදාගෙන ඇති බවයි.

ව්‍යාජ වෙබ් අඩවි මඟින් ජාතික හැඳුනුම්පතේ පිටපත්, ගුවන් ගමන් බලපත්‍ර පිටපත්, උප්පැන්න සහතික පිටපත් වැනි පෞද්ගලික තොරතුරු සොරා ගැනීම් වාර්තා වන බවද ඔහු ප්‍රකාශ කළා.

ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ කිසිදු අවස්ථාවක මෙවැනි වෙබ් අඩවිවලට පිවිස තමන්ගේ පෞද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසයි.

(colombotimes.lk)