21 February 2025


සියලුම රාජ්‍ය ආයතනවලට අභ්‍යන්තර කටයුතු ඒකකයක්



සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ ඵලදායී රාජ්‍ය සේවයක් සැපයීම සඳහායි.  

ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක විසින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

මෙම ඒකකය පිහිටුවීමේ මූලික අරමුණ වී ඇත්තේ රාජ්‍ය ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම, සාදාචාරාත්මක පාලනයක් ප්‍රවර්ධනය කිරීම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීතිය බලාත්මක කිරීමට සහයවීමයි.

සියලුම රජයේ ආයතනවල විශේෂ ඒකකයක් ලෙස අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීම සිදුවිය යුතු අතර මූලික පියවර වශයෙන් සියලුම කැබිනට් අමාත්‍යාංශ, පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ස්ථාපිත කළ යුතු බව ජනාධිපති ලේකම්වරයා දැනුම්දී තිබෙනවා.

මෙම අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ජනාධිපති ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම්දීමක්ද සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)