15 July 2025

logo

දුම්රිය දෙපාර්තමේන්තුවට නව බලවේග කට්ටල 05ක් ලබාදීමට අනුමැතිය



ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට නව බලවේග කට්ටල 5ක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. 
 
තදාසන්න ප්‍රදේශවල දෛනික මගීන්ගේ ගමනාගමනය සඳහා යෙදවිය හැකි ප්‍රමාණවත් බලවේග කට්ටල නොමැතිවීම හේතුවෙන් දුම්රිය සේවාවන් දැඩි මගී තදබදයකට මුහුණදී තිබෙන බවයි වාර්තා වන්නේ. 
 
මේ වන විට භාවිතයේ ඇති බලවේග කට්ටල වසර 20කට වැඩි කාලයක් සේවයේ නිරත වී තිබෙනවා.

බලධාරීන් සඳහන් කළේ එමනිසා ඒවායේ නිතර ක්‍රියා විරහිත වීම් සහ බිඳවැටීම් වාර්තා වන බවයි. 
 
වර්තමාන දුම්රිය සේවාව තිරසාරව පවත්වාගෙන යාම සඳහා අවම වශයෙන් බලවේග කට්ටල 96ක් අවශ්‍ය වී තිබෙනවා.

 එම පරිමාණය සපුරාලීම සඳහා වත්මන් කට්ටල සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බවයි වාර්තා වන්නේ. 
 
ඒ අනුව තදාසන්න සහ දුරගමන් දුම්රිය සේවා වැඩිදියුණු කිරීම සඳහා බලවේග කට්ටල 5ක් ප්‍රසම්පාදනය කිරීම පිළිබඳව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. 
 
අමාත්‍යවරයා සඳහන් කළේ මෙම කටයුතු හරහා මගීන්ට වඩා ආරක්ෂිත සහ විශ්වාසනීය දුම්රිය සේවාවක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි. 

(colombotimes.lk)