22 May 2025


බස් ගාස්තු ගෙවීමත් ඩිජිටල් කිරීමට තීරණයක්



මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික වැඩපිළිවෙළ යටතේ මාර්ග අනතුරු අවම කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා.

ඒ ඊයේ (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

මාර්ග ආරක්ෂණ කළමනාකරණය, ආරක්ෂිත මාර්ග සහ ආරක්ෂිතව ගමන් කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය, ආරක්ෂිත වාහන, ආරක්ෂිත විනයගරුක මගී ප්‍රජාවක් ඇති කිරීම සහ පශ්චාත් අනතුරු කළමනාකරණය යන ක්ෂේත්‍රයන් යටතේ මෙම ජාතික වැඩපිළීවෙළ ගොඩනගා ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව රියදුරන් වෘත්තීමය වශයෙන් දිරිගැන්වීම , ඔවුන් සඳහා මූල්‍යමය ප්‍රතිපාදන ලබාදීම , ඩිපෝවල අත්‍යවශ්‍ය මූලික පහසුකම් සහ වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂා තත්ත්වයන් තහවුරු කිරීම, දුරගමන් සේවා බස් රථ නවත්වන ආපනශාලාවල ප්‍රමිතිය උසස් කිරීම මෙන්ම ජංගම අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂණ ඒකකයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එමෙන්ම රජයේ ඩිජිටල්කරණ ව්‍යාපෘතියට යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස් රථ සඳහා GPS අධීක්ෂණය යටතේ නියමු ව්‍යාපෘතියක් හඳුන්වාදීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව බස් රථ සඳහා බැංකු කාඩ්පත් මඟින් ගෙවීම් සිදු කිරීමට හැකි ක්‍රමවේදයක් සකසන බවත් බස් රථවල ආසන වෙන් කිරීමට මාර්ගගත පොදු ක්‍රමවේදයන් හඳුන්වාදීම කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
 

(colombotimes.lk)