පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව, එහි සභාපතිවරයාට අදාළ ගැටලු විසඳන තුරු නොකැඳවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද නිවේදනය කළා.
කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එම ධූරයෙන් ඉවත් කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඔහුගෙන් ඉල්ලීමක් කිරීමෙන් අනතුරුවයි කථානායකවරයා මෙම නිවේදනය නිකුත් කළේ.
ඒ අනුව අද පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතව තිබූ කෝප් කමිටු රැස්වීමද අවලංගු කළ බව කථානායකවරයා නිවේදනය කළා.
මීට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ නිර්දේශ නිකුත් කිරීමෙන් වැළකී සිටීමෙන් කෝප් කමිටු සභාපතිවරයා සිය රාජකාරිය පැහැර හැර ඇති බව ශ්‍රී ලංකා විගණන සේවා සංගමය ඉදිරිපත් කළ වාර්තාවකින් හෙළි වී ඇති බවයි.
ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ද මහාචාර්ය බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.
(colombotimes.lk)